මිතුරන් වන මෙලනි සහ ටේ‍රවොර් එක්ව කඳුකර මංපෙත්වල සැතපුම් ගණන් තරණය කර ඇත. එසේ වුවද එකිනෙකාගේ උපකාරය නොමැතිව එසේ කිරීමට නොහැකි වනු ඇත. කොඳු ඇට පෙළේ රෝගයකින් උපන් මෙලනි රෝද පුටුවක් භාවිතා කරයි. ග්ලුකෝමාව නිසා ටේ‍රවොර්ට පෙනීම නැති විය. කොලරාඩෝ වනාන්තරය භුක්ති විඳීමට ඔවුන් එකිනෙකා පරිපූර්ණ ඒකාබද්ධ කණ්ඩායමක් බව ඔවුන් දෙදෙනා තේරුම් ගත්හ. ඔහු මංපෙත්වල ගමන් කරන විට ටේ‍රවොර් මෙලනිව ඔහුගේ පිටේ තබා ගෙන යන අතර ඇය ඔහුට වාචික උපදෙස් ලබා දෙන්නීය. ඔවුන් තමන්ව විස්තර කරන්නේ “සිහින කණ්ඩායමක්” ලෙසිනි.

අපෝස්තලු පාවුල් විස්තර කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ඒ හා සමාන “සිහින කණ්ඩායමක්” ලෙසිනි. ඔහු රෝමවරුන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ තනි පුද්ගල තලෙන්ත විශාල කණ්ඩායමකට ප්‍රයෝජනවත් වන ආකාරය හඳුනා ගන්නා ලෙසටයි. අපගේ භෞතික ශරීර බොහෝ කොටස් වලින් සමන්විත වන අතර ඒ සෑම එකක්ම විවිධ ක්‍රියාකාරකම් වලින් යුක්ත වේ. අපි එක්ව “එක් (ආත්මික) ශරීරයක් සාදන්නෙමු”. එසේම අපගේ තලෙන්ත සභාවේ සාමුහික ප්‍රයෝජනය සඳහා සේවයේ යෙදිය යුතු වන්නේය (රෝම 12:5). දීම, දිරි ගැන්වීම හෝ ඉගැන්වීම හෝ වෙනත් ඕනෑම අධ්‍යාත්මික දීමනාවක් වේවා අපවද අපගේ දීමනාද අන් සියල්ලන්ටම අයත් යැයි සළකන ලෙස අපෝස්තලු පාවුල් අපට උපදෙස් දෙන්නේය (5-8 පද).

මෙලනි සහ ටේ‍රවොර් තමන්ට නැති දේ ගැන අවධානය යොමු නොකරයි. එසේම අනෙකාට සාපේක්‍ෂව තමන් සතු දේ ගැන ආඩම්බර වන්නේද නැත. ඔවුන් සතුටු සිතින් ඔවුන් “සතු දේ” අනෙකාට සේවය කිරීම සඳහා ලබා දෙමින් දෙදෙනාම ඔවුන්ගේ සහයෝගීතාවයන් කොතරම් හොඳද යන්න හඳුනා ගනියි. අපිත් දෙවියන්වහන්සේ අපට දී ඇති ත්‍යාගයන් අපගේ සෙසු සාමාජිකයන් සමග ක්‍රිස්තුස්වහන්සේ උදෙසා නිදහසේ ඒකාබද්ධ කරමු.