හැත්තෑ හත් හැවිරිදි ආදේශක ගුරුවරයෙක් වන ජොස් වසර අටක් තිස්සේ ඔහුගේ මෝටර් රථය තුළ ජීවත් විය. සවස් වරුවේ වැඩ සඳහා ඔහුගේ පරිඝණකයට බලය ලබාගතයුතු බැවින් මෝටර් රථයේ බැටරිය හොඳින් නිරීක්‍ෂණය කිරීමෙන් පසු ඔහු තමාගේ 1997 ෆෝඞ් තන්ඩර්බර්ඞ් LX වර්ගයේ රථය තුළ නිදාගත්තේය. කුලී නිවසක් වෙනුවෙන් වෙන් කර ඇති මුදල් භාවිතා කරනවා වෙනුවට ජොස් මෙම මුදල් වඩාත් අවශ්‍යතාවයන් ඇති මෙක්සිකෝවේ සිටි ඔහුගේ පවුලේ බොහෝ සාමාජිකයන් වෙත යැවීය. මෙම ගුරුවරයාගේ ශිෂ්‍යයෙක් සෑම උදෑසනකම ජොස් තම බඩු මල්ල අවුස්සනවා දුටුවේය. “මේ ගැන යමක් කළ යුතු බව මට හැඟුණි” කියා එම ශිෂ්‍යයා පැවසීය. එබැවින් ඔහු අරමුදල් රැස් කිරීමක් දියත් කළ අතර සති කිහිපයකට පසුව ජොස්ට ජීවත් වීමට ස්ථානයක් සඳහා ගෙවීමට චෙක්පතක් ලබා දුන්නේය.

එකිනෙකා ගැන සෝදිසියෙන් සිටින ලෙසට දේව වචනය නැවත නැවත අපට උපදෙස් දුන්නද සමහර විට අපගේම මහත් ඕනෑකම් ඉක්මවා ඒවා දකින්න දුෂ්කර වන්නේය. දෙවියන්වහන්සේට නමස්කාර කිරීම හෝ අනුන්ට සේවය කිරීම හෝ වෙනුවට “තමන් වෙනුවෙන්ම භෝජන සංග්‍රහ කරන” සෙනගක් වූ නිසා අනාගත වක්තෘ සෙකරියා ඉශ්‍රායෙල්වරුන්ට තරවටු කළේය (සෙකරියා 7:6). ඔවුන්ගේ හවුල් සාමූහික ජීවිතය නොසළකා හරිමින් ඔවුන් තම අසල්වැසියාගේ අවශ්‍යතාවයන් නොසළකා හැරියහ. සෙකරියා දෙවියන්වහන්සේගේ උපදෙස් පැහැදිළි කළේය. ඔවුන් කළ යුතු වූයේ “සැබෑ ලෙස විනිශ්චය කරන්න. එකිනෙකාට කරුණාවද අනුකම්පාවද පෙන්වන්න. වැන්දඹුවන්ට සහ පියා නැත්තාටත් විදේශියාට සහ අසරණයාටත් පීඩා නොකරන්න” (9-10 පද) යන්නයි.

අපගේ අවශ්‍යතා ගැන සැළකිලිමත්ව සිටීම පහසු වුවද විශ්වාසවන්තකම අපව කැඳවන්නේ අන් අයගේ අවශ්‍යතා සඳහා නැඹුරු වීමටයි. දිව්‍යමය ආර්ථිකය තුළ සියල්ලන්ටම ඕනෑතරම් තිබේ. තවද දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දයාවෙන් අපව තෝරා ගෙන තිබෙන්නේ අප සතු දෙයින් කොටසක් අන් අයට දීමටය.