ජේම්ස්, ඉරි සහිත බන්ධනාගාර ඇඳුම ඇඳගෙන සිර ගෙයි ව්‍යායාම ශාලාව හරහා ඇවිද ගෙන ගොස් අතින් ගෙන යා හැකි ජල තටාකයට නැග්ග අතර එහිදී බන්ධනාගාර පූජකතුමා අතින් බව්තිස්ම වූයේය. කෙසේ වෙතත් සිරකාරියක් වූ තම දියණිය බ්‍රිට්නිද එදිනම එම ජලයේම බව්තිස්ම වූ බව ඇසූ විට ජේම්ස්ගේ ප්‍රීතිය තවත් වැඩි විය. සිදුවූයේ කුමක්දැයි දැනගත් විට කාර්ය මණ්ඩලය පවා හැඟුම් බර වූහ. “කිසිවෙක් නොහඬා සිටියේ නැත” කියා පූජකතුමා පැවසුවේය. වසර ගණනාවක් නිතර නිතර බන්ධනාගාර ගත වූ බ්‍රිට්නි සහ ඇගේ පියා යන දෙදෙනාටම දෙවියන්වහන්සේගේ සමාව අවශ්‍ය වූ අතර දෙවියන්වහන්සේ ඔවුන් දෙදෙනාටම නව ජීවිතයක් ලබා දුන් සේක.

වෙන සිර ගෙදරක සිදුවීමක් දේව වචනය විස්තර කරයි. මෙවර බන්ධනාගාරයේ මුලාදෑනියා සමග මෙහෙවරකි. එහිදී යේසුස්වහන්සේගේ ප්‍රේමය තුළින් ඔහුගේ මුලු පවුලම වෙනස් වුනි. “ඉතා දැඩි භූමි කම්පාවක්” හේතුවෙන් සිර ගෙදර සෙළවී “සිර ගෙදර දොරටු විවර වූ පසු” පාවුල් සහ සීලස් පැන නොගොස් ඔවුන්ගේ සිර මැදිරියේම රැඳී සිටියහ (ක්‍රියා 16:26-28). ඔවුන් පලා නොයෑම ගැන කෘතඥ පූර්වකවූ මුලාදෑනියා ඔවුන්ව තම නිවසට කැඳවා ගෙන ගොස් අවසානයේ ජීවිතය වෙනස් කරන ප්‍රශ්නය ඇසුවේය : එනම් “ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුද?” යන්නයි (30 පදය).

“ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහා ගන්න. එවිට නුඹ ගැළවෙන්නෙහිය. නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේම යයි කීවෝය” (31 පදය). ප්‍රතිචාරයෙන් හෙළිවන්නේ පුද්ගලයන්ට පමණක් නොව මුළු පවුලටම දයාව වැගිරිම දෙවියන්වහන්සේගේ ආශාව බවයි. දෙවියන්වහන්සේගේ ප්‍රේමය අත් දකිමින් බන්ධනාගාරයේ මුලාදෑනියා ඇතුළු පවුලේ සියල්ලෝම “දෙවියන්වහන්සේව අදහා ගත්තෝය” (34 පදය). අප ප්‍රේම කරන අයගේ ගැළවීම සඳහා අප බොහෝ විට උනන්දු වුවද අපට වඩා දෙවියන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බව අපට විශ්වාස කළ හැකිය. අප සියල්ලන්ම අපගේ මුළු පවුලම අලුත් කිරීමට උන්වහන්සේ කැමති වන සේක.