කයිල් සහ ඇලිසන් විචිත්‍රවත් ස්ථානයක මනහර මධුසමයක් ගත කළහ. කෙසේ වෙතත් ඔවුන් ආපසු නිවසට පැමිණි විට කයිල්ගේ පාදවල කැසීමත් සමග පලු දමා තිබෙන බව සොයා ගත්තේය. මෙම යුවළ බෝවෙන රෝග විශේෂඥයෙක් වෙතට යොමු කරන ලදී. කයිල්ගේ අලුත් සෙරෙප්පු නිසා ඇති වූ බිබිලි හරහා කුඩා පරපෝෂිතයන් කයිල්ගේ පාද තුළට ඇතුල් වී ඇති බව ඔහු ඔවුන්ට දන්වා සිටියේය. සිහින නිවාඩුවක් ලෙස ඇරඹුණ ඔවුන්ගේ ගමන අවසන් වූයේ අනවශ්‍ය “අමුත්තන්” සමග වූ අභියෝගාත්මක සටනකිනි.

පාපයට එරෙහිව සටන් කිරීමට දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා නොසිටියේ නම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමේ සිහිනය පාපයේ සහ කැරැල්ලේ “අනවශ්‍ය අමුත්තන්” සමග සටනක් බවට පත්වන බව දාවිත් දැන සිටියේය. දෙවියන්වහන්සේ ස්වභාවික ලෝකයේ එළිදරව් වන ආකාරයත් (ගීතාවලිය 19:1-6) උන්වහන්සේගේ උපදෙස් තුළ (7-10 පද) දක්නට ලැබෙන උන්වහන්සේගේ ප්‍රඥාවත් ප්‍රකාශ කිරීමෙන් පසු නොසැලකිලිමත්කමෙන්ද අහංකාර කමෙන්ද හිතාමතා අකීකරු වීමෙන්ද ඔහුව ආරක්‍ෂා කරන ලෙස දාවිත් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. “නොදන්නා වරදවලින් මා නිදොස් කළ මැනව. එඩිතරව පව් කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැළැක්වුව මැනව” (12-13 පද) යනුවෙන් ඔහු ලිවීය. පාපයේ බෝවෙන රෝගයෙන් වැළකීමට තමාට මානව සම්පත් නැති බව ඔහු හඳුනා ගත්තේය. ඒ නිසා ඥානවන්ත ලෙස ඔහු දෙවියන්වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලා සිටියේය.

දෙවියන්වහන්සේට ගෞරව කරන ආකාරයෙන් ජීවත් වීමේ අපගේ සිහිනය පාපය පැහැර නොගන්නා බවට සහතික විය හැක්කේ කෙසේද? උන්වහන්සේ දෙස අපගේ නෙත් යොමු කර ගෙන අපගේ පාපය ගැන පාපෝච්චාරණය කර පසුතැවිලි වෙමු. අනවශ්‍ය අධ්‍යාත්මික පරපෝෂිතයන් අපගේ ජීවිත තුළට ඇතුල් වීමෙන් වළක්වා ගැනීමට දිව්‍යමය උපකාර ලබා ගැනීමට දැඩි උත්සාහයක් ගනිමු.