දෙදරු මවක් වූ මගේ මිතුරිය වන ඇල්මාට හිමිදිරි උදෑසන වේදනාකාරී එකක් වුනි. ඇය පවසන්නේ “සියල්ල නිශ්ශබ්ද වූ විට කණස්සල්ල මතුවේ. මම ගෙදර දොරේ වැඩ කරන විට අපගේ මූල්‍ය ගැටළු සහ දරුවන්ගේ සෞඛ්‍යය සහ අධ්‍යාපන කටයුතු ගැන සිතමි” යනුවෙනි.

ඇගේ ස්වාමිපුරුෂයා ඇයව අත්හැර ගිය විට ඇල්මා ඇගේ දරුවන් තනිවම ඇති දැඩි කිරීමේ වගකීම දරා ගත්තාය. “එය ඉතා අපහසුයි. නමුත් දෙවියන්වහන්සේ මාව සහ මගේ පවුල දකින බව මම දනිමි. උන්වහන්සේ මට රැකියා දෙකක් කිරීමට ශක්තිය ලබා දෙන සේක. අපගේ අවශ්‍යතා සපයා දෙන සේක. එසේම මගේ දරුවන්ට සෑම දිනකම උන්වහන්සේගේ මග පෙන්වීම අත් විඳීමට ඉඩ සළස්වන සේක” යනුවෙන් ඇය පැවසුවාය.

ඊජිප්තු ජාතික සේවිකාවක් වූ හාගර් දෙවියන්වහන්සේ දකින්නේය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගත්තාය. ඇය ආබ්‍රම්ගෙන් ගැබ්ගත් පසු සාරායිට නිග්‍රහ කිරීමට පටන් ගත්තාය (උත්පත්ති 16:4). සාරායිද ඇයට අයුතු ලෙස සැළකූ අතර හාගර් කාන්තාරයට පලා ගියාය. තමාට සහ තමාගේ නූපන් දරුවාට අඳුරු සහ බලාපොරොත්තු සුන් වූ අනාගතයකට මුහුණ දෙමින් තමා තනිවී සිටින බව හාගර් දුටුවාය.

නමුත් ඒ කාන්තාරයේදී “ස්වාමින්වහන්සේගේ දූතයා” (7 පදය) ඇයට මුණ ගැසී “ස්වාමින්වහන්සේ නුඹේ පීඩාව ඇසූ සේක” (11 පදය) යනුවෙන් ඇයට කීවේය. දෙවියන්වහන්සේගේ දූතයා හාගර් විසින් කළ යුතු දේ ගැන මග පෙන්වීමක් ලබා දුන් අතර අනාගතයේදී සිදුවන දේ ගැන උන්වහන්සේ ඇයට සහතික කළ සේක. ඇයගෙන් අපි දෙවියන්වහන්සේට කියන එක් නමක් ඉගෙන ගන්නෙමු. එනම් එල් රෝයි, “මා දකින්නාවූ උන්වහන්සේ” (13 පදය) යන්නයි.

හාගර් මෙන් සමහර විට ඔබත් අතරමංවූ සහ තනිකමක් දැනෙන දුෂ්කර ගමනක යෙදී සිටිනවා විය හැකිය. නමුත් මුඩු බිමේ පවා දෙවියන්වහන්සේ ඔබව දකින බව මතක තබා ගන්න. උන්වහන්සේ වෙත ළඟ වී ඔබට මග පෙන්වීමට උන්වහන්සේව විශ්වාස කරන්න.