විශාල අසම්පූර්ණ චිත්‍රයක් අගය කිරීමට නතර වූ යුවළක් ඊට යටින් තිබූ විවෘත තීන්ත කෑන් සහ බුරුසු දුටුවෝය. ඕනෑම කෙනෙකුට නිර්මාණය කිරීමට උපකාර කළ හැකි “වැඩ කෙරෙමින් පවතින” දෙයක් යයි උපකල්පනය කර ඔවුහු යම් වර්ණයකින් පාට කර පිටව ගියහ. කෙසේ වෙතත් කලාකරුවා හිතාමතාම නිමි වැඩ ප්‍රදර්ශනයේ කොටසක් ලෙස සැපයුම් එහි තබා තිබුණි. සිද්ධියේ වීඩියෝ දර්ශන දැකීමෙන් පසුව ප්‍රදර්ශන ශාලාව මෙය වැරදි වැටහීමකින් සිදුවූවක් බව පිළිගෙන චෝදනා එල්ල නොකළේය.

යොර්දානයට නැගෙනහිර දෙසින් ජීවත් වූ ඊශ්‍රායෙල්වරුන් ගඟට යාබදව දැවැන්ත වූ පූජාසනයක් තැනීමේදී වරදවා වටහා ගැනීමක් ඇති කළේය. බටහිර ගෝත්‍ර ජනයා මෙය සැළකුවේ දෙවියන්වහන්සේට එරෙහි කැරැල්ලක් ලෙසිනි. මක්නිසාදයත් නමස්කාරය සඳහා දෙවියන්වහන්සේ විසින් අනුමත කරන ලද එකම ස්ථානය මණ්ඩපය බව සියලු දෙනාම දැන සිටි හෙයිනි (යෝෂුවා 22:16).

ඔවුන් අදහස් කළේ දෙවියන්වහන්සේගේ පූජාසනයේ අනුරුවක් සෑදීම පමණක් බව නැගෙනහිර ගෝත්‍ර ජනයා පැහැදිළි කරන තුරු ආතතිය වැඩි විය. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ පරම්පරාව එය දැකීමට සහ සෙසු ඊශ්‍රායෙල්වරුන් සමග ඔවුන්ගේ ආත්මික සහ මුතුන් මිත්තන්ගේ සම්බන්ධය හඳුනා ගැනීමටය (28-29 පද). ඔවුහු මෙසේ මොර ගැසුවෝය: “දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමින්වහන්සේ, උන්වහන්සේම දන්නා සේක” (22 පදය). අනෙක් අය මෙයට සවන් දුන් නිසා ස්තූති වේවා. ඔවුන් සිදුවන දේ දැක දෙවියන්වහන්සේට ප්‍රශංසා කර නිවෙස් බලා ගියහ.

මක්නිසාද ස්වාමින්වහන්සේ “සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම් ගන්නා නිසා…” (1 ලේකම් 28:9) සෑම කෙනෙකුගේම චේතනා උන්වහන්සේට පැහැදිිළිය. ව්‍යාකූල තත්ත්වයන් නිරාකරණය කර ගැනීමට අපට උපකාර කරන ලෙස අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහොත් අපට පැහැදිළි කිරීමට හෝ වැරදිවලට සමාව දීමට හෝ අපට අවශ්‍ය කරුණාව උන්වහන්සේ ලබා දෙන සේක. අපි අන් අය සමග සමගිය සඳහා උත්සාහ කරන විට අපට උන්වහන්සේ වෙත හැරිය හැකිය.