එය උණුසුම් ගිම්හාන දිනයක් වූ අතර මගේ සිව් හැවිරිදි මිණිපිරිය වන මොලී සහ මම “බෝල සෙල්ලම්” කිරීමෙන් විවේකයක් ගනිමින් සිටියෙමු. අපගේ වතුර වීදුරු සමග අපි ඉස්තෝප්පුවේ වාඩිවී සිටින විට මොලී මිදුල දෙස බලා “හිරු එළියේ මඩ කඩිති” දෙස බලන්න යැයි කීවාය. ගස්වල විශාල කොළ අතරින් හිරු එළිය ගමන් කරමින් තිබූ හෙයින් එය අඳුරු සෙවණැලි මැද ආලෝක රටාවන් නිර්මාණය කර තිබුණි.

හිරු එළියේ මඩ කඩිති. අඳුරු දිනවල බලාපොරොත්තුව සොයා ගැනීමට මෙය සුන්දර රුපයක් නොවේද? බොහෝ විට අභියෝගාත්මක කාලවල් මැද යහපත් ආරංචි වල හිඟ බවක් පෙනෙන විට සෙවණැලි මත අවධානය යොමු කිරීමෙන් වැළකී අපට ආලෝකය වෙත අවධානය යොමු කළ හැකිය.

ආලෝකයට නමක් තිබේ. ඒ “යේසුස්”ය. මතෙව් විසින් යෙසායා අනාගතවක්තෘන් උපුටා දක්වමින් යේසුස්වහන්සේ පැමිණි විට ලෝකයට පැමිණි දීප්තිය මෙසේ විස්තර කරයි : “අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය” (මතෙව් 4:15; යෙසායා 9:2 බලන්න). අප “මරණ සෙවණෙහි” ජීවත් වන විට පාපයේ බලපෑම් අප වටා ඇත. නමුත් එම සෙවණැල්ල හරහා බැබළෙන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨ සහ තේජාන්විත ආලෝකය වන යේසුස්වහන්සේය (යොහන් 1:4-5).

යේසුස්වහන්සේගේ ප්‍රේමය සහ දයාව හිරු එළිය මෙන් සෙවණැලි හරහා ගලා බසිමින් අපගේ දවස ආලෝකමත් කරන්නත් අපගේ හදවත් බලාපොරොත්තුවෙන් දීප්තිමත් කරන්නත් හිරු එළියේ මඩ කඩිති ලබා දෙන්නේය.