ආචාර්ය ගැරී ග්‍රීන්බර්ග් විසින් ලොව පුරා ඇති වෙරළ තීරයේ වැලි විශාල කර ඡායාරූප ගත කර ඇත. බොහෝ විට එහි අඩංගු ඛනිජ ලවණ, සිප්පි සහ කොරල් කැබිලි වලින් විස්මිත, විචිත්‍රවත් වර්ණ විහිදුවන බව හෙළි කරයි.

ඇසට පෙනෙනවාට වඩා වැලිවල නොයෙකුත් දේ ඇති බව ඔහු සොයාගෙන ඇත. ඇරිනොලොජි නොහොත් වැලි අධ්‍යයනයේදී, වැලිවල ඛනිජ ප්‍රමාණය පිළිබඳ අන්වීක්ෂීය විශ්ලේෂණය මගින් ඛාදනය, වෙරළ ධාරා සහ වෙරළ තීරයට ඒවායෙන් විය හැකි බලපෑම් පිළිබඳව බොහෝ දේ හෙළි කළ හැකිය. වැලි ස්වල්පයකින් පවා ඉතා වටිනා තොරතුරු ලබා ගත හැකිය!

තනි යාච්ඤාවක් වැලි කැටයක් වැනි ප්‍රබල දෙයක් විය හැකිය. දේවරාජ්‍යයේ පැමිණීමේදී යාච්ඤාවේ ප්‍රබල කාර්යභාරය දේව වචනය පෙන්වා දෙන්නේය. එළිදරව් 8 හි, යොහන් තුමා දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි පූජාසනය අසළ “සියලු ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ” රන් දුම් බඳුනක් අතැතිව දේව දූතයෙක් සිටිනු දකියි. ඉන්පසුව “දේව දූතයාද දුම් භාජනය රැගෙන පූජාසනයේ ගින්නෙන් ඒක පුරවා, පොළොවට හෙළුවේය. එවිට ඝර්ජනාද ශබ්දද විදුලියද පොළෝ කම්පාවක් ද විය” (3 සහ 5 පද).

දේවදූතයා ගින්නෙන් හා යාච්ඤාවෙන් පිරුණු ධූමාගාරය විසි කළ වහාම, “හොරණෑ සත ඇතුව සිටි දේවදූතයන් සත් දෙනාද පිඹින පිණිස සුදානම් වුණෝය” (6 පදය), මෙය පැරණි පෘථිවියේ අවසාන දින සහ ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම ප්‍රකාශ කරන්නේය.

සමහර විට අපගේ යාච්ඤාවලට කිසිම අගයක් නැති බවක් අපට දැනෙනවා ඇත, නමුත් දෙවියන්වහන්සේට ඉන් එකක්වත් මග හැරෙන්නේත් නැත. උන්වහන්සේ ඒ යාච්ඤා කොතරම් අගය කරනවාද කියනවා නම්, උන්වහන්සේගේ රාජ්‍යයේ සම්පූර්ණත්වය සඳහා ඒවා යම් කාර්යභාරයක් ඉටු කරන්නේය. උන්වහන්සේ සමඟ පොළොව කම්පා කළ හැකි කුඩාම යාච්ඤාව ලෙස අපට පෙනෙන්නේ කුමක්ද!