දෙවියන්වහන්සේ නිහතමානීකම මෙතරම් ඉහළින් අගය කරන්නේ මන්දැයි එක් දිනක් මෙනෙහි කරමින් සිටි, දහසයවන සියවසේ ඇවිලාහි තෙරේසා නමැති ඇදහිලිවන්තිය හදිසියේම පිළිතුර තේරුම් ගත්තාය: “එනම්, දෙවියන්වහන්සේ උත්තරීතර සත්‍යය වන අතර සත්‍යය වන්නේ නිහතමානිකමයි …. අප තුළ ඇති යහපත් කිසිවක් අපගෙන්ම හට නොගනියි. නමුත්, එය පැමිණෙන්නේ ගංගාවක් අසළ සිටුවන ලද ගසක් මෙන් ආත්මය තුළ පවතින කරුණාවේ ජලයෙන් සහ අපගේ කාර්යයන්වලට ජීවය දෙන සූර්යයාගෙන්” බවය. තෙරේසා නිගමනය කළේ යාච්ඤාවෙන් එම යථාර්ථය තුළ අප නැංගුරම් ලා සිටින බවයි. ඈ තව දුරටත් කියා සිටියේ “යාච්ඤාවේ සම්පූර්ණ පදනම නිහතමානීකමයි. අපි යාච්ඤාවෙන් නිහතමානී වන තරමට දෙවියන්වහන්සේ අපව ඔසවන සේක” යනුවෙනි.

යටහත් පහත්කම ගැන තෙරේසාගේ වචන යාකොබ් 4 හි දේව වචනය නැවත නැවත උච්චාරණය කරයි. එහිදී යාකොබ් උඩඟුකමේ විනාශකාරී ස්වභාවය සහ ආත්මාර්ථකාමී අභිලාෂය ගැන අනතුරු ඇඟවීය. මෙය දෙවියන්වහන්සේගේ කරුණාව මත යැපෙන ජීවිතයට ප්‍රතිවිරුද්ධය (1-6 පද). තණ්හාව, බලාපොරොත්තු සුන්වීම සහ නිරන්තර ගැටුම් සහිත ජීවිතයකට ඇති එකම විසඳුම වන්නේ අපගේ උඩඟුකම ගැන පසුතැවිලි වී දෙවියන්වහන්සේගේ කරුණාවට යටත් වීමය කියා ඔහු අවධාරණය කළේය. එසේත් නැතිනම්, වෙනත් වචන වලින් කිවහොත්, “ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහත්වෙන්න, එවිට උන්වහන්සේ නුඹලා උසස්කරනසේක” යන සහතිකය සහිතවය (පදය 10).

අප කරුණාව නමැති ජලයේ මුල් බැසගත් විට පමණක් අපට “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” (3 17) මගින් පෝෂණය විය හැක. සත්‍යය තුළ අපව උසස් කළ හැක්කේ උන්වහන්සේ තුළ පමණි.