ඉලිනොයිස්හි කුඩා නගරයක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පලාතේ සියලුම අපරාධවලින් සියයට 40 ක් වේ. ප්‍රාදේශීය දේවගැතිවරයෙකුට අනුව, මෙම ප්‍රශ්නය බොහෝ විට අපගේ ඇදහිලිවන්තයින් තුළ සැඟවී ඇත්තේ එය කතා කිරීමට අපහසු බැවිනි. එබැවින් ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය ප්‍රශ්නයෙන් ඈත් වෙනවා වෙනුවට, ප්‍රචණ්ඩත්වයේ සලකුණු හඳුනා ගැනීමට පන්ති පැවැත්වීමෙන් සහ ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියා කරන ස්වෙච්ඡා සංවිධානවල සහාය ලබාගැනීමෙන් ඇදහිල්ල හා ධෛර්ය සම්පන්නව ගැටලුව විසඳීමට තෝරා ගත්හ. ඇදහිල්ලේ සහ ක්‍රියාවේ බලය පිළිගනිමින් ප්‍රදේශයේ පූජකයෙක් පැවසුවේ, “අපගේ යාච්ඤාවන්,  අනුකම්පාව සහ යම් ප්‍රත්‍යක්ෂ සහයෝගයක් සමඟින් වැදගත් වෙනසක් ඇති කළ හැක” යනුවෙනි.

පර්සියාවේ රැජින වන එස්තර් තම ජනතාව සමූල ඝාතනයට අවසර දුන් නීතියකට එරෙහිව කතා කිරීමට පසුබට වූ විට, ඇය නිහඬව සිටියහොත් ඇය සහ ඇගේ පවුලේ අය බේරෙන්නේ නැති බවත් නමුත් විනාශයට ලක් වනු ඇති බවත් ඇගේ මාමා විසින් ඇයට අනතුරු ඇඟවීය (එස්තර් 4 : 13-14). නිර්භීතව ස්ථාවරයක් ගැනීමට කාලය පැමිණ ඇති බව දැනගත් මොර්දෙකයි, “නුඹ රාජ්‍යයට පැමුණුනේ මෙවැනි ප්‍රස්ථාවක් නිසාම නොවේද කියා දන්නේ කවුද?.” (14 පදය) කියා විමසීය. අයුක්තියට විරුද්ධව කතා කිරීමට හෝ අපව පීඩාවට පත් කළ කෙනෙකුට සමාව දීමට හෝ අපව කැඳවනු ලැබුවද, අභියෝගාත්මක අවස්ථාවන්හිදී, දෙවියන්වහන්සේ කිසිදා අපගෙන් අහක්ව නොයන බවත්, අත් නොහරින බවත් බයිබලය අපට සහතික කරයි (හෙබ්‍රෙව් 13:5-6). අපට තර්ජනයක් ඇති වෙයි කියා බියක් දැනෙන මොහොතක උපකාරය සඳහා දෙවියන්වහන්සේ දෙස බලන විට, යම් කාර්යයක් අවසානය දක්වා කිරීමට උන්වහන්සේ අපට … “බලය, ප්‍රේමය සහ ස්වයං විනය” ලබා දෙන සේක (2 තිමෝති 1 7).