ඇනී ජොන්සන් ෆ්ලින්ට් උසස් පෙළ අවසන් කර වසර කිහිපයකට පසු දරුණු ආතරයිටිස් රෝගයෙන් ආබාධිත විය. ඇය නැවත කිසි දිනක ඇවිද නොගිය අතර ඇගේ අවශ්‍යතා සඳහා උපකාර කිරීමට අන් අය මත යැපුණාය. ඇගේ කවි සහ ගීතිකා හේතුවෙන්, දේව සේවය ගැන අධෛර්යයට පත් වූ දේවස්ථානයක උපස්ථායිකාවක් ඇතුළු බොහෝ අමුත්තන් ඇය වෙතට පැමිණියහ. අමුත්තන් ආපසු තමන්ගේ නිවෙස්වලට ගිය පසු දෙවියන්වහන්සේ ඇනීගේ ජීවිතයට මෙතරම් දුෂ්කර දේවල්වලට ඉඩ දුන්නේ මන්ද කියා තමා කල්පනා කළ බව මෙම උපස්ථායිකාව ඇනීට ලීවාය.

ඇනී පිළිතුරක් වශයෙන් කවියක් යැව්වාය: “දෙවියන්වහන්සේ හැමවිටම නිල් පාට අහසක්, හෝ මල් පිරුණු වීථි අපේ ජීවිත කාලය පුරාවටම පොරොන්දු වුයේ නැත.” දුක් වේදනා බොහෝ විට සිදු වන නමුත් දෙවියන්වහන්සේ කිසි විටෙකත් තමන්වහන්සේට ආදරය කරන අයව අත් නොහරින බව ඇය අත්දැකීමෙන් දැන සිටියාය. ඒ වෙනුවට, උන්වහන්සේ “ජීවිතයේ පීඩාවන් සඳහා කරුණාව, ඉහළින් උපකාරය, නොවරදින අනුකම්පාව, නොනැසී පවතින ප්‍රේමය” ලබා දීමට පොරොන්දු වූ සේක. එම කවිය “දෙවියන්වහන්සේ පොරොන්දු වූ දේ” නොහොත් “What GOD Hath Promised” ගීතය ලෙස ඔබට හඳුනා ගත හැකිය.

මෝසෙස් ද දුක් වින්ද අතර ආරවුල්වලට මුහුණ දුන් නමුත් දෙවියන්වහන්සේගේ අභිමුඛය ඔහු සමඟ බව දැන සිටියේය. ඔහු ඊශ්‍රායෙල්වරුන්ගේ නායකත්වය යෝෂුවා වෙත පැවරූ විට, ඔහු තරුණයාට පැවසුවේ “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම නුඹ සමඟ යන” බැවින් ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින ලෙසටයි (ද්විතීය කථාව 31:6). ඊශ්‍රායෙල් සෙනඟ පොරොන්දු වූ දේශයට ඇතුල් වී එය අත්පත් කර ගන්නා විට දරුණු සතුරන්ට මුහුණ දීමට සිදු වන බව මෝසෙස් දැන සිටි හෙයින්, යෝෂුවාට “බිය නොවන්න; අධෛර්යමත් නොවන්න” කියා අනුබල දුන්නේය (8 පදය).

ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ට දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය හැකිය, නමුත් අපව දිරිමත් කිරීම පිණිස දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ අප සමඟ සිටින සේක. උන්වහන්සේ කිසිදා ඔබෙන් අහක්ව යන්නේ නැත.