එය දහවල් විය, නමුත් හිරු නොපෙනී තිබුණි. නව එංගලන්තයේ අඳුරු දිනය 1780 මැයි 19 වන දින උදෑසන ආරම්භ වූ අතර පැය ගණනක් පැවතුනි. අධික අන්ධකාරයට හේතුව කැනඩාවේ දැවැන්ත ලැව්ගිනි නිසා ඇති වූ දුමාර වලාකුළු විය හැකි නමුත් එය විනිශ්චය දවස විය හැකිදැයි බොහෝ දෙනා කල්පනා කළහ.

කනෙක්ටිකට් ආණ්ඩුකාර කවුන්සිලයේ (සෙනෙට් සභාව) සැසිවාරයේදී, අන්ධකාරය නිසා ඇතැමුන් එය කල් තැබීමට සළකා බැලූ විට, එබ්‍රහැම් ඩවෙන්පොර්ට් ප්‍රතිචාර දැක්වූයේ, “මම කල් තැබීමට විරුද්ධයි. විනිශ්චය දවස ළඟා වෙමින් තිබෙන්නට පුළුවන්, නැතහොත් එය එසේ නොවේ. එය එසේ නොවේ නම්, එය කල් තැබීමට හේතුවක් නොවේ; එය එසේ නම්, මගේ රාජකාරිය කරමින් සිටිනවා සොයා ගැනීමයි මගේ කැමැත්ත. එබැවින් ඉටිපන්දම් ගෙන එනවා නම් එයට මම කැමතියි.” කියා කීවේය.

ඩවෙන්පොර්ට් ගේ ආශාව වුයේ, උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී දෙවියන්වහන්සේ ඔහුට කිරීමට දී තිබුණ කාර්ය තමා විසින් විශ්වාසවන්තව ඉටු කරන බව සොයා ගැනීමටය. මෙය “නුඹලාගේ ඉඟටි බැඳ නුඹලාගේ පහන්ද දල්වා තිබේවා. නුඹලාද තමුන්ගේ ස්වාමියා සරණ මංගල්‍යයෙන් හැරී ඇවිත් තට්ටුකරන වහාම ඔහුට දොර අරින පිණිස ඔහුගේ ඊම බලා සිටින මනුෂ්‍යයන්ට සමානවෙන්න. ස්වාමියා එන කල දාසයන් අවදිව සිටිනවා ඔහු දුටුවොත්, ඔව්හු වාසනාවන්තයෝය” (ලූක් 12:35-37) යන යේසුස්වහන්සේගේ වචන ක්‍රියාවට නැංවීමකි.

දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ, අපගේ ගැලවුම්කරුවාණන්ට සේවය කිරීම සැමවිටම යහපත්ය. අන්ධකාරය ආක්‍රමණය කරන විට පවා, උන්වහන්සේ දෙස බලා සිටින සියල්ලන්ට උන්වහන්සේගේ පොරොන්දු එසේම වනු ඇත. අඳුරේ ඉටිපන්දම් මෙන්, අපගේ “ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” (මතෙව් 5:16), එමෙන්ම උන්වහන්සේට ප්‍රේම කරමින් සේවය කරන්න.