යම් දෙයක් මගේ මල් ආහාරයට ගන්නා බව මට තේරුණි. පෙර දිනදී මල් පිපී හිස ඔසවා ගෙන තිබුණි. දැන් ඒවා හිස් කඳන් විය. මම මගේ මිදුලේ සැරිසැරූ අතර හාවෙකුගේ ප්‍රමාණයේ සිදුරක් මගේ ලී වැටේ සොයා ගතිමි. හාවෝ හුරුබුහුටියි, නමුත් මෙම කරදරකාරී සතුන්ට විනාඩි කිහිපයකින් මල් වත්තක් විනාශ කළ හැකිය. මගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ චරිතය විනාශ කරන “බලෙන් ඇතුල් වෙන්නන්” සිටීමට පුළුවන්දැයි මම කල්පනා කළෙමි. හිතෝපදේශ 25:28 හි සඳහන් වන්නේ “තමාගේ සිත මැඩ පවත්වා නොගන්නා මනුෂ්‍යයා පවුරක් නොමැති බිඳ වැටුණු නුවරක් මෙන්ය” කියාය. අතීතයේදී නගරයේ පවුරු සතුරු ආක්‍රමණයන්ට එරෙහිව ආරක්‍ෂාව ගෙනාවේය. පවුරක ඉතා කුඩා සිදුරකින් පවා හැඟුණේ මුලු නගරයම පහර දීමකට විවර වන බවයි.

බොහෝ හිතෝපදේශ ආත්ම දමනය ගැන කථාකරයි. “නුඹට මී පැණි සම්භවුණොත්, එයින් තෘප්තියට පැමිණ වමනය නොකරන පිණිස, සෑහෙන තරමට පමණක් කන්න.” කියා ප්‍රඥාවන්ත මනුෂ්‍යයා ලිවීය (25:16). ආත්ම දමනය යනු අපව ආරක්ෂා කරන ආත්මයාණන්වහන්සේගේ ඵලයක් වන්නේ, එය නොඉවසිලිමත්කම, තිත්තකම, තණ්හාව සහ අපගේ ජීවිතවලට ඇතුල් වී දෙවියන්වහන්සේගේ අස්වැන්න විනාශ කළ හැකි වෙනත් පළිබෝධකයන්ගෙන් අපව ආරක්ෂා කරන හෙයිනි (ගලාති 5:22-23 බලන්න). ආත්ම දමනය යනු නිරෝගී මනසකි, එනම්, අපගේ ජීවිතයේ බිත්තිවල සිදුරු සොයමින් ඒවා පිළිසකර කරන්නකි.

මගේ ජීවිතය පරික්ෂා කරන විට, මට සමහර විට අවදානමට ලක්විය හැකි සිදුරු දැකිය හැකිය. එනම් මම නැවත නැවතත් පරීක්‍ෂාවන්ට යටත් වන ස්ථානයක් හෝ නොඉවසිලිමත් ප්‍රදේශයක් විය හැකිය. අහෝ, එවැනි අනවසරයෙන් ඇතුල් වන්නන්ගෙන් මගේ ජීවිතය ආරක්ෂා කරන පිණිස දෙවියන්වහන්සේගේ ආත්ම දමනයේ නිරෝගී මනසක් මට අත්‍යවශ්‍යයයි!