2001 සැප්තැම්බර් 11 වන දින ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණු කඩා වැටුණු විට, සුන්බුන් අතර මිය ගිය එක් අයෙකු වූයේ ග්‍රෙග් රොඩ්‍රිගස් ය. ඔහුගේ මව, ෆිලිස් සහ ඔහුගේ පියා ශෝකයට පත් වෙමින්, එවැනි බිහිසුණු ප්‍රහාරයකට ඔවුන්ගේ ප්‍රතිචාරය ද ඔවුන් හොඳින් සළකා බැලුවෝය. ත්‍රස්තවාදීන්ට උදව් කළ බවට චෝදනා ලැබූ එක් අයෙකුගේ මව වන අයිචා එල්-වේෆ් 2002 දී ෆිලිස්ට හමු විය. ෆිලිස් පැවසුවේ “මෙම කාන්තාවට මම ළං වී, මගේ දෑත් විවර කළෙමි. අපි එකිනෙකා වැළඳගෙන හැඬුවෙමු. අයිචා සහ මා අතර ක්ෂණික බැඳීමක් ඇති විය. අපි දෙදෙනාම අපේ පුතුන් නිසා දුක් විඳිමින් සිටින්නෙමු” කියාය.

ෆිලිස්ට අයිචාව මුණගැසුණේ වේදනාව සහ ශෝකය මැද ය. ෆිලිස් විශ්වාස කළේ තම පුතාගේ මරණය පිළිබඳ ඇතිවුණු කෝපය අර්ථාන්විත වූවත්, ඇගේ වේදනාව සුව කළ නොහැකි බවයි. අයිචාගේ පවුලේ කතාවට ඇහුම්කන් දීමෙන්, ෆිලිස්ට අනුකම්පාවක් ඇති වූ අතර, එය ඔවුන් හුදෙක් සතුරන් ලෙස සැළකීමේ පෙළඹවීම ප්‍රතික්ෂේප කළේය. ඇය යුක්තිය අපේක්ෂා කළාය, නමුත් අපට අසාධාරණයක් වූ විට බොහෝ විට අපව ග්‍රහණය කර ගන්නා පළිගැනීමේ පෙළඹවීම අප මුදා හැරිය යුතු බව විශ්වාස කළාය.

අපෝස්තලු පාවුල් මෙම අවබෝධය බෙදාගත්තේ “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා” (එපීස 4:31) යයි අපට අවවාද කරමිනි. අප මෙම විනාශකාරී බලයන් අත් හරින විට, දෙවියන්වහන්සේගේ ආත්මය අපව නව ඉදිරි දර්ශනයකින් පුරවයි. “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට…..” යනුවෙන් පාවුල් පවසයි (32 පදය). කෝපාවිෂ්ට පළිගැනීම් ප්‍රතික්ෂේප කරන අතරම වැරදි නිවැරදි කිරීම සඳහා වැඩ කළ හැකියි. තිත්තකම ජය ගන්නා දයානුකම්පාව පෙන්වීමට ආත්මයාණන් අපට උපකාර කරන සේක්වා.