ක්‍රීඩා ලේඛකයෙකු ලෙස ඔහුගේ වෘත්තියේ ඉහළම තලයට ගොස් සිටි අවස්ථාවේ, ඬේව් කින්ඩ්‍රඬේ ප්‍රධාන ක්‍රීඩා ඉසව් සහ ශූරතාවන් සිය ගණනක් ආවරණය කර තිබූ අතර මොහොමඩ් අලිගේ ජීවන චරිතය ලිවීය. විශ්‍රාම යාමේදී අලසකමක් ඇති වූ ඔහු ප්‍රදේශයේ පාසලක බාලිකා පැසිපන්දු ක්‍රීඩාවලට සහභාගි වීමට පටන් ගත්තේය. වැඩි කල් නොගොස් ඔහු සෑම ක්‍රීඩාවක් ගැනම විස්තර ලිවීමට සහ ඒවා අන්තර්ජාලයේ පළ කිරීමට පටන් ගත්තේය. ඬේව්ගේ මව සහ මුනුබුරා මිය ගිය විට සහ ඔහුගේ බිරිඳ බරපතළ ලෙස අංශභාග වූ විට, ඔහු ආවරණය කළ කණ්ඩායම ඔහුට ප්‍රජාව සහ අරමුණ පිළිබඳ හැඟීමක් ලබා දුන් බව ඔහු තේරුම් ගත්තේය. ඔහුට ඔවුන්ව අවශ්‍ය තරමටම ඔවුන්ට ඬේව්ව අවශ්‍ය විය. කින්ඩ්‍රඬේ පැවසුවේ, “මේ කණ්ඩායම මාව බේරාගත්තේය. මගේ ජීවිතය අඳුරු වී තිබුණි. . . . ඔවුන් මගේ ආලෝකය වුණි” කියාය.

ජනප්‍රිය මාධ්‍යවේදියෙකු නව යොවුන් ප්‍රජාවක් මත යැපෙන්නට වූයේ කෙසේද? මේ ආකාරයටම ජනප්‍රවාදගත අපෝස්තළුවරයෙකු තම මිෂනාරි ගමන් වලදී මුණගැසුණු අයගේ මිත්‍රත්වයට නැඹුරු විය. පාවුල් තම ලිපිය අවසන් කරන විට සියලු දෙනාට ආචාර කළ ආකාරය ඔබ දුටුවාද? (රෝම 16:3-15). “මාගේ හවුල් හිරකාරයන්වූ අන්ද්‍රෝනිකස්ට හා යූනියස්ට ආචාරකරන්න” (7 පදය) යයි ඔහු ලිවීය. “ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රියවූ අම්ප්ලියාතුස්ට ආචාරකරන්න” (8 පදය). ඔහු පුද්ගලයන් විසිපහකට වඩා වැඩි ගණනක් ගැන සඳහන් කරයි, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නැවත දේව වචනයේ සඳහන් වන්නේ නැති නමුත් පාවුල්ට ඔවුන්ව අවශ්‍ය විය.

ඔබේ ප්‍රජාවේ සිටින්නේ කවුරුද? ආරම්භ කිරීමට හොඳම ස්ථානය ඔබේ ප්‍රදේශයේ සභාවයි. ජීවිතය අඳුරට පත් වී ඇති කවුරුන් හෝ එහි සිටීද? දෙවියන්වහන්සේ මඟ පෙන්වන පරිදි, ඔබට ඔවුන්ව යේසුස්වහන්සේ වෙතට යොමු කරන ආලෝකයක් විය හැකිය. යම් දිනක ඔවුන්ගේ කරුණාව ආපසු ඔබට ලැබෙනු ඇත.