“ඔපරේෂන් නොවාර්ස් ආර්ක් ” නොහොත් “නෝවාගේ නැවේ මෙහෙයුම”යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ගළවා ගැනීමේ මෙහෙයුමක් සත්ත්ව ලෝලීන්ට විනෝදයක් විය හැකි නමුත්, සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීම සඳහා වන “නාස්සෝ සංගමයට” එය බියකරු සිහිනයක් විය. කිසියම් නිවසකින් එන ශබ්දය සහ දරුණු දුර්ගන්ධය පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසු, කම්කරුවන් ලෝන්ග් අයිලන්ඞ් නිවසට ඇතුළු වූ අතර, එහි නොසළකා හරින ලද තත්ත්වයෙන් යුත් සතුන් හාරසියයකට වඩා සිටින බව දැක පසුව ඔවුන්ව ඉවත් කරන ලදී.

අපි සතුන් සිය ගණනක් අපිරිසිදු තත්ත්වයේ තබා ගෙන නොසිටියත්, යේසුස්වහන්සේ පැවසුවේ අපගේ හදවත් තුළ නපුරු හා පව්කාර සිතුවිලි මෙන්ම ක්‍රියා තිබිය හැකි බවත් ඒවා හෙළිදරව් කර ඉවත් කළ යුතු බවත්ය.

පුද්ගලයෙකු පවිත්‍ර හෝ අපවිත්‍ර වන්නේ කුමකින්ද යන්න පිළිබඳව උන්වහන්සේගේ ගෝලයන්ට ඉගැන්වීමේදී, යේසුස්වහන්සේ පැවසුවේ එය අපිරිසිදු අත් හෝ “මුඛය තුළට යන ඕනෑම දෙයක් නොව” පුද්ගලයෙකු අපවිත්‍ර කරන්නේ නපුරු හදවතකින් බවයි (මතෙව් 15:17-19). අපේ හදවත්වලින් එන දුර්ගන්ධය අවසානයේ අපේ ජීවිතයෙන් පිට වෙන්නේය. ඉන්පසුව යේසුස්වහන්සේ “හදවතින් නික්මෙන” නපුරු සිතිවිලි සහ ක්‍රියා පිළිබඳ උදාහරණ ලබා දුන්සේක (19 පදය). බාහිර ආගමික ක්‍රියාකාරකම් සහ චාරිත්‍ර වාරිත්‍රවලින් ඒවා පිරිසිදු කළ නොහැකිය. අපගේ හදවත් වෙනස් කිරීමට අපට දෙවියන්වහන්සේ අවශ්‍යයි.

යේසුස්වහන්සේට අපගේ හදවත් තුළට පැමිණීමට ප්‍රවේශය ලබා දීමෙන්, අපට යේසුස්වහන්සේගේ අභ්‍යන්තර-පිටත ආචාරධර්ම පිළිවෙත ප්‍රගුණ කළ හැක. අපගේ හදවත් තුළින් පැමිණෙන දේ උන්වහන්සේ දැන ගත් කල අපගේ වචන සහ ක්‍රියාවන් උන්වහන්සේගේ ආශාවන් සමග එකට පෙළගැස්වීමට උන්වහන්සේ උපකාර කරන සේක. එවිට ජීවිතයෙන් පිටවන සුගන්ධය උන්වහන්සේව සතුටු කරනු ඇත.