මම කෝපි බොන කෙනෙක් නොවෙමි, නමුත් කෝපි ඇටවල එක් ආඝ්‍රාණයකින් (සුවඳ බැලීමෙන්) මට සැනසිල්ල සහ කල්පනාකාරී බව, යන දෙකම එකට ගෙන එයි. අපේ නව යොවුන් වියේ දියණිය වන මෙලිසා ඇගේ නිදන කාමරය තමන්ටම කියා සකස් කරන විට, ඇය උණුසුම්, ප්‍රසන්න සුවඳක් තම කාමරය පුරා පැතිරීම සඳහා කෝපි ඇට වලින් බඳුනක් පුරවා තැබුවාය.

මෙලිසාගේ භූමික ජීවිතය වයස අවුරුදු දාහතේදී රිය අනතුරකින් අවසන් වී දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. නමුත් තවමත් අප සතුව එම කෝපි ඇට බඳුන තිබේ. එය අපට මෙලිසාගේ ජීවිතය ගැන අඛණ්ඩ මිහිරි සුවඳක් දෙන මතකයක් ලබා දෙයි.

දේව වචනයද මතක් කිරීමක් ලෙසින් සුවඳ පතුරවයි. සාලමොන්ගේ ගීතය මිනිසා සහ ඔහුගේ භාර්ය්‍යාව අතර ආදරයේ සංකේතයක් ලෙස මිහිරි සුවඳ ගැන සඳහන් කරයි (සාලමොන්ගේ ගීතිකාව 1:3; 4:11; 16 බලන්න). හොෂෙයා හි, දෙවියන්වහන්සේ ඊශ්‍රායෙලයට සමාව දීමේ “සුවඳ ලෙබනොන් මෙන්ද වන්නේය” යැයි කියනු ලැබේ (හොෂෙයා 14:6). යේසුස්වහන්සේගේ පාද මරියා සුවඳ ද්‍රව්‍යය වලින් ආලේප කිරීම හේතුවෙන් මරියා සහ ඇගේ සහෝදර සහෝදරියන්ගේ නිවස “තෙලේ සුවඳින් ගේ පිරුණේය” (යොහන් 12:3) කියා තිබෙන අතර, මෙම ක්‍රියාව යේසුස්වහන්සේගේ මරණය කලින් පෙන්වා දුන්නේය (7 පදය බලන්න).

සුවඳ පිළිබඳ අදහස අපගේ ඇදහිල්ල පිළිබඳව අප අවට සිටින බොහෝ අයට සාක්ෂියක් වන බව කල්පනාවෙන් සිටීමට ද අපට උපකාර කළ හැකිය. පාවුල් එය මෙසේ පැහැදිළි කළේය. එනම්, “මක්නිසාද ගැළවෙන්නවුන් කෙරෙහිද විනාශවන්නන් කෙරෙහිද අපි දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳක්ව සිටිමුව” ලෙසය (2 කොරින්ති 2:15).

කෝපි ඇටවල සුවඳ මට මෙලිසාව මතක් කර දෙනවා සේම, අපගේ ජීවිතය යේසුස්වහන්සේගේ සුවඳ සහ උන්වහන්සේගේ ප්‍රේමය අන් අයට උන්වහන්සේ පිළිබඳ අවශ්‍යතාවය මතක් කර දෙන්නේය.