උසස් පෙළ පාසලේ සිටි සෑම කෙනෙක්ම ජැක්ගේ සරල ආකල්ප සහ මලල ක්‍රීඩා කුසලතාවය අගය කළහ. ඔහු වඩාත් සතුටින් සිටියේ නල බාගයක් සහිත බෑවුමකට ඉහළින් මැද ගුවනේදී එක් අතකින් ඔහුගේ ස්කේට්බෝඩ් එක අල්ලාගෙන සමබරතාව රැක ගැනීමට අනෙක් අත දිගුකර තබා ගැනීමෙනි.

ඔහුගේ ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණීමෙන් පසුව ජැක් යේසුස්වහන්සේව අනුගමනය කිරීමට තීරණය කළේය. ඒ වන තෙක් ඔහු සැළකිය යුතු පවුල් අරගල විඳ දරාගත් අතර ඔහුගේ වේදනාව අඩු කර ගැනීමට නොයෙකුත් මත් ද්‍රව්‍ය භාවිතා කර තිබුණි. ඔහු ගැළවීම ලබාගෙන ටික කාලයකදී සැම දෙයක්ම හොඳින් සිදුවන බවක් පෙනෙන්නට තිබුණි. නමුත් වසර ගණනාවකට පසුව ඔහු නැවතත් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට පටන් ගත්තේය. නිසි මැදිහත්වීමකින් තොරව සහ දිගටම ප්‍රතිකාර නොතිබුණ හෙයින් ඔහු අවසානයේදී අධික මාත්‍රාවකින් මිය ගියේය.

අප දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට හුරුපුරුදු දේ වෙත ආපසු හැරීම පහසුය. ඉදිරියේදී එල්ල වන අසිරියානු ප්‍රහාරයේ වේදනාව ඊශ්‍රායෙල්වරුන්ට දැනුණු විට, ඔවුන් නැවත ඊජිප්තුවරුන් වෙත එනම්, ඔවුන්ගේ හිටපු වහල් ස්වාමිවරුන් වෙත උදව් සොයමින් අසරණයන් ලෙස ගියහ (යෙසායා 30:1-5). මෙය විනාශකාරී වනු ඇතැයි දෙවියන්වහන්සේ කලින් දැන ගෙන සිටිය නමුත් ඔවුන් වැරදි තීරණය ගනිද්දිත් උන්වහන්සේ දිගටම ඔවුන්ව රැකබලා ගත් සේක. යෙසායා දෙවියන්වහන්සේගේ හදවත ගැන හඬ නඟමින් කීවේ: “එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාකරන්ට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පාකරන්ට නැගිටිනසේක” යන්නයි (18 පදය).

අපගේ වේදනාව දුරු කිරීමට වෙන දෙයක් දෙස බැලීමට තීරණය කරන විටදී පවා අප කෙරෙහි දෙවියන්වහන්සේගේ ආකල්පය මෙයයි. අපට උපකාර කිරීමට උන්වහන්සේට අවශ්‍යය. වහල්භාවය ඇති කරන පුරුදුවලින් අපි අපටම රිදවා ගන්නවාට උන්වහන්සේ කැමති නැත. ඇතැම් ද්‍රවයන් සහ ක්‍රියාවන් අපට ඉක්මන් සහනයක් ඇති කරන නමුත්, අපි උන්වහන්සේ සමඟ සමීපව ගමන් කරන විට අව්‍යාජ සුවයක් ලබා දීමට දෙවියන්වහන්සේට අවශ්‍ය වන සේක.