“බොබී ද වොන්ඩර් ඩෝග්” නොහොත් බොබී නම්වූ පුදුම සුනඛයෙකි. කෝලි වර්ගයේ මිශ්‍රණයක් වූ ඔහු අපෙන් වෙන්වූයේ පවුලේ අය ගිම්හාන කාලයේ නිවාඩුවක් ගත කිරීමට ඔවුන්ගේ නිවසේ සිට සැතපුම් 2,200 කට වඩා වැඩි දුරකින් පිහිටි ස්ථානයකට ගොස් සිටි අවස්ථාවකදීය. පවුලේ අය තම ආදරණීය සුරතලාව හැමතැනම සෙවීමට උත්සාහ කලත් ඌ නොමැතිව හද කම්පාවෙන් ආපසු පැමිණියෝය.

මාස හයකට පසු, ශීත ඍතුවේ අවසානය වන විට, ඇමෙරිකාවේ පිහිටි ඕරිගන් ප්‍රාන්තයේ සිල්වර්ටන් හි ඔවුන්ගේ දොරකඩට, කෙට්ටු නමුත් අධිෂ්ඨානශීලීව බොබී නමැති සුනඛයා පෙනී සිටියේය. බොබී කෙසේ හෝ ගංගා, කාන්තාර සහ හිමෙන් වැසුණු කඳු තරණය කරමින් දිගු හා භයානක ගමනක් කර ඇත්තේ තමා ආදරය කරන අය වෙත උගේ නිවසට යන මාර්ගය සොයා ගැනීම සඳහා ය.

බොබීගේ ගවේෂණය පොත්, චිත්‍රපට සහ උගේ උපන් නගරයේ බිතු සිතුවමක්ද ඇති කළේය. දෙවියන්වහන්සේ ඊටත් වඩා ගැඹුරු ආශාවක් අපගේ හදවත් තුළ තබා ඇති නිසා, උගේ අතිමහත් ආදරය හදවතට තදින් කථා කරයි, ඈත අතීතයේ සිටී දේවධර්මාචාර්ය ඔගස්ටින් එය විස්තර කළේ මෙසේය: “ඔබවහන්සේ, අපව සාදා ඇත්තේ ඔබවහන්සේ වෙනුවෙන්ය. එසේම, ඔබවහන්සේ තුළ රැඳී සිටින තුරු අපගේ හදවත් නොසන්සුන් වේ”. ජුදා පාළුකරයේ ඔහු ලුහුබැඳ ගිය අයගෙන් සැඟවී සිටි දාවිත් බලාපොරොත්තු නැතුව සිටි අවස්ථාවකදී වුවත් ඉතා නිවැරදි ලෙස යාච්ඤාවකදී මෙම ආසාවම ප්‍රකාශ කළේය:
“දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය” (ගීතාවලිය 63:1).

දාවිත් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළේ උන්වහන්සේගේ “කරුණා ගුණය ජීවිතයට වඩා යහපත්” වූ හෙයිනි (3 පදය). උන්වහන්සේව දැනගැනීම හා සැසඳෙන කිසිවක් නැත! අප වරක් කෙතරම් දුරස්ව සිටියත්, යේසුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ අපව සොයා ගෙන උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය වන නිවසට පැමිණීමට මාර්ගය අපට සලසා දුන් සේක. අපි උන්වහන්සේ වෙත හැරෙන විට, අපගේ හදවතේ සැබෑ නිවහන අපට හමු වේ.