මගේ මිතුරිය ජැනිස්ට වසර කිහිපයකට පසු ඇගේ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ලෙස ඉල්ලා සිටි විට, ඇයට අධික පීඩනයක් දැණුනි. ඒ ගැන යාච්ඤා කරන විට, දෙවියන්වහන්සේ ඇයට පත්වීම පිළිගැනීමට පොළඹවන බව ඇයට දැණුනි – නමුත් තවමත්, වගකීම සමඟ සාර්ථකව කටයුතු කළ නොහැකි බවට ඇය බිය වූවාය. “මෙපමණ අඩු අත්දැකීම් ඇතුව මම, මෙම දෙපාර්තමේන්තුවට නායකත්වය ලබා දෙන්නේ කෙසේද?” ඇය දෙවියන්වහන්සේගෙන් විමසුවාය. “මම අසාර්ථක වීමට යන්නේ නම් මාව මෙහි තබන්නේ ඇයි?” කියා ඇය තව දුරටත් විමසුවාය.

පසුව, ජැනිස් උත්පත්ති 12 හි … දෙවියන්වහන්සේ විසින් ….. ආබ්‍රම්ගේ කැඳවීම ගැන කියවමින් සිටි අතර ඔහුගේ කොටස වූයේ “යන්න මා විසින් පෙන්වන දේශයට යන්න….. මෙසේ ආබ්‍රම් ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ගියේය” (1, 4 පද). මෙය රැඩිකල්වාදී දෙයක් වූයේ පුරාණ ලෝකයේ කිසිවෙකු මේ ආකාරයට තමාගේ පවුලෙන් වෙන් නොවුනු නිසාය. නමුත් දෙවියන්වහන්සේ ඔහුගෙන් ඉල්ලා සිටියේ ඔහු දන්නා සියල්ල අතහැර දමා උන්වහන්සේව විශ්වාස කරන ලෙසත්, උන්වහන්සේ ඉතිරි කාර්යයන් බලාගන්නා බවත්ය. අනන්‍යතාවය? මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. ප්‍රතිපාදන? මම ඔබට ආශීර්වාද කරන්නෙමි, කීර්තිය? අනර්ඝ නාමයක්, අරමුණ? මිහිපිට සිටින සියලුම ජාතීන්ට ඔබ ආශීර්වාදයක් වන්නේය. ආබ්‍රම් විසින් අතරමඟදී විශාල වැරදි කිහිපයක් කළ නමුත්, “ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවනු ලැබූ කල… තමා කොතැනට යනවාදැයි නොදැන පිටත්ව ගියේය” (හෙබ්‍රෙව් 11:8) යනුවෙන් සඳහන් වේ.

මෙම අවබෝධය ජැනිස්ගේ හදවතින් විශාල බරක් ඉවත් කළේය. “මගේ රැකියාවේ ‘සාර්ථක වීම’ ගැන මට කරදර විය යුතු නැත” කියා ඇය පසුව මට පැවසුවාය. “මට වැඩ කිරීමට හැකි වන පරිදි මගේ අවධානය විය යුත්තේ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමයි”. දෙවියන්වහන්සේ අපට අවශ්‍ය ඇදහිල්ල සපයන බැවින්, අපගේ මුළු ජීවිත කාලය තුළම අපි උන්වහන්සේව විශ්වාස කරමු.