වසරකට වැඩි කාලයක් ඔහුගේ නීත්‍යානුකූල නාමය වූයේ “බේබි බෝයි” යන්නය. පැය ගණනක් වයසැති සහ බෑගයක පමණක් ඔතා – රෝහලක වාහන නැවැත්වීමේ ස්ථානයක දමා ගොස් තිබුණු දරුවෙක්ව ඔහුගේ කෑ ගැසීම ඇසූ ආරක්‍ෂක නිලධාරියෙක් විසින් සොයා ගන්නා ලදී.

ඔහුගේ සොයාගැනීමෙන් ඉක්බිතිව, සමාජ සේවා විසින් සමාජයට මෙම ළදරුවා පිළිබඳ දැනුම් දුන්නේ සමාජයේ පවුලක් දිනක ඔහුගේ සදාකාලික පවුල බවට පත් වනු ඇතැයි බලාපොරොත්තුවෙනි. යුවළක් විසින් ඔහුව තමන්ගේ භාරයට ගෙන ඔහුට ග්‍රේසන් (ඔහුගේ සැබෑ නම නොවේ) යන නම තැබුවෝය. අවසාන වශයෙන්, දරුකමට හදා ගැනීම සම්පූර්ණ වූ අතර ග්‍රේසන් යන නම නිල නාමය විය. අද ඔහු හා සංවාදයේ යෙදෙන විට උනන්දුවෙන් තම ‘ ර ‘ අකුර වැරදි ලෙස උච්චාරණය කරන ප්‍රියජනක දරුවෙකු හමුවන්නට ඔබට පුළුවනි. ඔහු වරක් බෑගයක දමා අත් හැර දමා සිටි බව ඔබ කිසි විටෙකත් අනුමාන නොකරනු ඇත.

ඔහුගේ ජීවිතයේ අගභාගයේදී, මෝසෙස්, දෙවියන්වහන්සේගේ චරිතය සහ උන්වහන්සේ ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් කළ දේ සමාලෝචනය කළේය. “ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන්ට ප්‍රේමකරන ලෙස ඔවුන් කෙරෙහි ඇලුම්වී” සිටි බව මෝසෙස් ඔවුන්ට කීවේය (ද්විතීය කථාව 10:15). මේ ප්‍රේමයට පුළුල් පරාසයක් තිබුණි. “උන්වහන්සේ පියා නැත්තාටද වැන්දඹුවටද යුක්තිය ඉෂ්ටකරදෙන සේක, විදේශියාට කෑම ඇඳීම දෙමින් ඔහුට ප්‍රේමකරනසේක” කියා මෝසෙස් කීවේය (18 පදය). “උන්වහන්සේම නුඹේ ප්‍රශංසා භූමියය… නුඹේ දෙවියන්වහන්සේය” (21 පදය) කියා මෝසෙස් තව දුරටත් උපදෙස් දුන්නේය.

එය දරුකමට හදා ගැනීම හරහා හෝ සරලව ආදරය හරහා සහ සේවය තුළින් හෝ, අපි සියලු දෙනා දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කිරීමට කැඳවනු ලැබ ඇත්තෙමු. ඒ ආදරණීය යුවළ, නොපෙනී යන්නට තිබුණ සහ හිමිකම් නොලබන කෙනෙකුට දෙවියන්වහන්සේ විසින් තමන්ගේ ප්‍රේමය දිගු කිරීමට භාවිතා කළ දෑත් සහ දෙපා බවට පත් විය. අපටද, උන්වහන්සේගේ දෑත් සහ දෙපා ලෙස සේවය කළ හැක.