මගේ දියණියට සුරතල් කකුළුවන් ජෝඩුවක් තෑග්ගක් ලෙස ලැබුණු විට, ඔවුන්ට නැඟී හාරා ගැනීමට හැකි වන පරිදි ඇය වීදුරු ටැංකියකට වැලි පිරෙව්වාය. ඇය, උන්ගේ ආහාර රුචිය සඳහා ජලය, ප්‍රෝටීන් සහ එළවළු කැබලි සැපයුවාය. උන් සතුටින් සිටින බවක් පෙනෙන්නට තිබුණි, එම නිසා දිනක් ඔවුන් අතුරුදහන් වූ විට එය කම්පනයක් ඇති කළේය. අපි සෑම තැනම හෙව්වෙමු. අවසානයේදී, උන්ගේ බාහිර කටුව ඉවත් කිරීමට වැලි යට සිටින බවත්, ඒ සඳහා මාස දෙකක් පමණ එහි රැඳෙන බවත් අපි දැන ගත්තෙමු.

මාස දෙකක් ගෙවී ගියේය. තවත් මාසයක් ගෙවී ගිය අතර, උන් මිය යන්නට ඇතැයි සිතා මම කනස්සල්ලට පත් වූයෙමි. අපි තව දුරටත් බලා සිටින තරමට, මම තවත් නොඉවසිලිමත් වීමි. ඉන්පසුව, අවසානයේදී, අපි උන් ජීවත්වන සළකුණු දුටුවෙමු, කකුළුවන් වැල්ලෙන් මතු විය.

ඔවුන් බබිලෝනියේ වහලුන් ලෙස ජීවත් වූ විට ඔවුන් සඳහා දෙවියන්වහන්සේගේ අනාවැකිය ඉටු වේදැයි ඊශ්‍රායෙල්වරුන් සැක කළාද කියා මට පුදුමයකි. ඔවුන්ට බලාපොරොත්තු සුන්වීමක් දැනුණාද? ඔවුන් සදහටම එහි සිටිනු ඇතැයි ඔවුන් බිය වූවාද? යෙරෙමියා මාර්ගයෙන් දෙවියන්වහන්සේ මෙසේ පැවසූ සේක: ”බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට (යෙරුසලමට) නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි” (යෙරෙමියා 29:10). වසර හැත්තෑවකට පසු, දෙවියන්වහන්සේ විසින් පර්සියානු රජු සයිරස් හට යුදෙව්වන්ට ආපසු පැමිණ ඔවුන්ගේ දේවමාළිගාව යෙරුසලමේ නැවත ගොඩනඟා ගැනීමට ඉඩ සලසන ලෙස පෙළඹවීමක් ඇති කළ සේක (එස්රා 1:1-4).

කිසිවක් සිදු නොවන බව පෙනෙන බලා සිටීමේ කාලවලදී, දෙවියන්වහන්සේ අපව අමතක කර නොමැති බව මතක තබා ගනිමු. ඉවසීම වර්ධනය කර ගැනීමට ශුද්ධාත්මයාණන් අපට උපකාර කරන බැවින්, උන්වහන්සේ බලාපොරොත්තු දෙන්නා බවත්, පොරොන්දුව රකින්නා බවත් සහ අනාගතය පාලනය කරන තැනැත්තා බවත් අපට දැනගත හැකිය.