ඉංග්‍රීසි දේශක එෆ්. බී. මේයර් (1847-1929) විසින් “ක්‍රිස්තුස්වහන්සේගේ වාසස්ථානය යන ගැඹුරු දර්ශනය” පැහැදිළි කිරීම සඳහා බිත්තරයක් උදාහරණයක් හැටියට භාවිතා කළේය. සාරවත් කළ කහ මදය ඉතාම කුඩා “ජීවානුවක්” වුවත් පැටවා කවචය තුළ සාදනු ලබන තෙක් සෑම දිනකම වැඩි වැඩියෙන් වර්ධනය වන ආකාරය ඔහු සඳහන් කළේය. එසේම යේසුස්වහන්සේද උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අප සමඟ ජීවත්වීමට පැමිණ, අපව වෙනස් කරමින් සිටින සේක. මේයර් පැවසුවේ, “මෙතැන් සිට ක්‍රිස්තුස්වහන්සේ වැඩීමටත්, වැඩි වීමටත්, අන් සියල්ල උන්වහන්සේ තුළට උරා ගැනීමටත්, ඔබ තුළ පිහිටුවා ගැනීමටත් යන්නේ ය” යනුවෙනි.

යේසුස්වහන්සේගේ සත්‍යයන් අසම්පූර්ණ ලෙස ප්‍රකාශ කිරීම ගැන ඔහු සමාව අයැද සිටියේ, ඔහුගේ වචනවලට ශුද්ධාත්මයාණන් තුළින් ඇදහිලිවන්තයන් තුළ ක්‍රිස්තුස්වහන්සේගේ විස්මිත යථාර්ථය සම්පූර්ණයෙන් ප්‍රකාශ කළ නොහැකි බව දැන සිටි හෙයිනි. නමුත් ඔහු තමාට සවන් දෙන්නන්ගෙන් ඉල්ලා සිටියේ, “ඒ දවසේදී මා පියාණන් වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැන ගන්නහුය” (යොහන් 14:20) යනුවෙන් පැවසූ විට යේසුස්වහන්සේ අදහස් කළ දේ සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමට අප අපොහොසත් වූවත් අන් අය සමඟ බෙදාගන්නා ලෙසටයි. යේසුස්වහන්සේ මේ වචන කීවේ තම මිතුරන් සමඟ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේ රාත්‍රියේදී ය. උන්වහන්සේට අවශ්‍ය වූයේ උන්වහන්සේ සහ උන්වහන්සේගේ පියාණන් පැමිණ උන්වහන්සේට කීකරු වන අය තුළ තමන්වහන්සේගේ නිවහන සාදා ගන්නා බව ඔවුන්ට දැන්වීමටය (23 පදය). මෙය කළ හැක්කේ උන්වහන්සේව විශ්වාස කරන අය තුළ වසන යේසුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ඔවුන් ඇතුළත සිට පිටතට වෙනස් කරන බැවිනි.

ඔබ එය කෙසේ සිතුවම් කළත්, අප තුළ ක්‍රිස්තුස්වහන්සේ ජීවත්ව සිටින අතර, අපට මඟ පෙන්වමින් සහ තව තවත් උන්වහන්සේ මෙන් වැඩීමට අපට උපකාර කරන සේක.