1876 දී නව නිපැයුම්කරුවෙක් වූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනයෙන් පළමු වචන කතා කළේය. ඔහු තම සහායකයා වූ තෝමස් වොට්සන්ට කතා කර, “වොට්සන්, මෙහාට එන්න. මට ඔයාව බලන්න ඕනෑ” යයි කීවේය. ඉරිතැලීම් සහ නොපැහැදිලි, නමුත් තේරුම්ගත හැකි ලෙස බෙල් පැවසූ දේ වොට්සන්ට ඇසුණි. බෙල් විසින් දුරකථන මාර්ගයකින් කතා කළ පළමු වචන මානව සන්නිවේදනය සඳහා නව දිනයක් උදා වී ඇති බව ඔප්පු කළේය.

“නිර්මාණ රහිත සහ හිස්” පෘතුවිය ස්ථාපිත කරමින් පළමු දිනය උදාවිය (උත්පත්ති 1:2), දේව වචනයේ සඳහන් කර ඇති පරිදි දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පළමු වචන ප්‍රකාශ කළ සේක: “එළිය වේව” යි කී සේක; එවිට එළිය විය (3 පදය). මෙම වචන නිර්මාණාත්මක බලයෙන් පිරී තිබුණි. උන්වහන්සේ කතා කළ පමණින් ඉෂ්ට විය. ආඥා කළ පමණින් ස්ථිර විය (ගීතාවලිය 33:6, 9). දෙවියන්වහන්සේ පැවසුවේ, “එළිය වේවා” කියාය, එය එසේ විය. අන්ධකාරය සහ අවුල් සහගත බව ආලෝකයේ සහ පිළිවෙළේ දීප්තියට මඟ පෑදූ බැවින් උන්වහන්සේගේ වචන ක්ෂණික ජයග්‍රහණයක් ඇති කළ සේක. අන්ධකාරයේ ආධිපත්‍යයට දෙවියන්වහන්සේගේ පිළිතුර ආලෝකය විය. උන්වහන්සේ ආලෝකය නිර්මාණය කළ පසු එය “යහපත්” (උත්පත්ති 1:4) බව උන්වහන්සේ දුටු සේක.

දෙවියන්වහන්සේගේ පළමු වදන් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ගේ ජීවිත තුළ දිගටම බලවත් සේ ක්‍රියා කරන සේක. සෑම නව දිනකම උදාවත් සමඟම, එය දෙවියන්වහන්සේ කතා කළ වචන අපගේ ජීවිත තුළ නැවත නැවත ප්‍රකාශ කිරීම වැනිය. අන්ධකාරය – වචනාර්ථයෙන් සහ රූපක වශයෙන් – උන්වහන්සේගේ ආලෝකයේ දීප්තියට මග පාදන විට අපව උන්වහන්සේ වෙත කැඳවා ඇති බවත් අපව දකින බවත් පිළිගනිමින් අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු.