ග්ලෙන්ඩා මහත්මිය දේවස්ථානයේ පොදු ප්‍රදේශයට ගිය විට, ඇගේ ප්‍රීතියෙන් කාමරය පිරී ගියේය. ඇය දුෂ්කර වෛද්‍ය ක්‍රියා පටිපාටියකින් පසු සුවය ලැබුවා පමණි. අපගේ සුපුරුදු දේවස්ථානයේ දේව මෙහෙයෙන්-පසු ආචාර කිරීම සඳහා ඇය මා වෙත පැමිණෙන විට, වසර ගණනාවක් පුරා ඇය මා සමඟ හැඬූ හැටි, මෘදු ලෙස මාව නිවැරදි කළ සැටි සහ දිරිගැන්වීම් ලබා දුන් සෑම අවස්ථාවක් ගැනම මම දෙවියන්වහන්සේට ස්තුති කළෙමි. ඇය මගේ හැඟීම් රිදෙව්වා යැයි සිතන විට ඇය සමාව ඉල්ලා ඇත. තත්ත්වය කුමක් වුවත්, මගේ අරගල අවංකව බෙදා ගැනීමට ඇය සැමවිටම මට ආරාධනා කරන අතර දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට අපට බොහෝ හේතු ඇති බව මට මතක් කර දෙන්නීය.

ග්ලෙන්ඩා අම්මා කියා ඇයව ඇමතීමට ඉඩ දෙන අතර, මාව මෘදු ලෙස වැළඳ ගත්තාය. “හායි, බබා,” ඇය පැවසුවාය. අපි කෙටි සංවාදයකින් සතුටක් ලැබූ අතර, එකට යාච්ඤා කළෙමු. ඉන්පසු, සෑම විටම මෙන් මුමුණමින් සහ ගායනා කරමින්, ආශීර්වාද කිරීමට වෙනත් කෙනෙකු සොයමින් ඇය පිටව ගියාය.

ගීතාවලිය 64 හි, දාවිත් නිර්භීතව දෙවියන්වහන්සේ වෙත ඔහුගේ පැමිණිලි සහ උත්සුකයන් සමඟ පැමිණියේය (1 පදය). ඔහු අවට දුටු දුෂ්ටකම් ගැන ඔහුගේ කලකිරීම ප්‍රකාශ කළේය (2-6 පද). ඔහු දෙවියන්වහන්සේගේ බලය හෝ උන්වහන්සේගේ පොරොන්දුවල විශ්වාසනීයත්වය පිළිබඳ විශ්වාසය නැති කර නොගත්තේය (7-9 පද). ඔහු දැන සිටියේ එක් දිනක්, “ධර්මිෂ්ඨයා ස්වාමීන් තුළ සන්තෝෂවන්නේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නේය; අවංක සිත් ඇති සියල්ලෝද ජය ප්‍රකාශකරන්නෝය” (10 පදය) කියාය.

අප යේසුස්වහන්සේගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින විට, අපට දුෂ්කර කාලවලට මුහුණ දීමට සිදු වේ. නමුත් දෙවියන්වහන්සේ මැවූ සෑම දිනකම ප්‍රීති වීමට අපට සැමවිටම හේතු තිබේ.