යේසුස්වහන්සේට සේවය කළ නිසා ඩෲ නැමැත්තාව, වසර දෙකක් සිරගත කර තිබුණේය. සිරගත කර සිටි කාලය පුරාම නිරන්තර ප්‍රීතියක් අත්විඳින මිෂනාරිවරුන්ගේ කථා ඔහු කියවා තිබූ නමුත් මෙය ඔහුගේ අත්දැකීම නොවන බව ඔහු පාපොච්චාරණය කළේය. ඔහු තම බිරිඳට පැවසුවේ දෙවියන්වහන්සේ තමන්වහන්සේ වෙනුවෙන් දුක් විඳීමට වැරදි මිනිසා තෝරා ගෙන ඇති බවයි. ඇය පිළිතුරු දුන්නේ, “නැහැ. මම හිතන්නේ සමහර විට දෙවියන්වහන්සේ නිවැරදි පුද්ගලයා තෝරා ගන්න ඇති. මෙය අහඹුවක් නොවේ” කියාය.

යූදාට ඔවුන්ගේ පාපවලට දඬුවම් ලැබෙන බවට අනතුරු අඟවමින් දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සේවය කළ අනාගතවක්තෘ යෙරෙමියා සමඟ ඩෲ ට සම්බන්ධ විය හැකියි. නමුත් දෙවියන්වහන්සේගේ විනිශ්චය තවමත් පැමිණ නොතිබූ අතර, යූදාහි නායකයෝ යෙරෙමියාට පහර දී ඔහුව හිර ගෙයට දැමූහ. යෙරෙමියා දෙවියන්වහන්සේට දොස් කීවේය: “අහෝ ස්වාමීන්වහන්ස, ඔබ මා පෙළඹවූ සේක,..” (7 පදය). අනාගතවක්තෘවරයා විශ්වාස කළේ දෙවියන්වහන්සේ ඔහුව මුදා ගැනිමට අපොහොසත් වූ බවයි. “මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනය සෑමදාම මට නින්දාවක් සහ කවටකමක් කරන ලද්දේ විය” (8 පදය) යැයි යෙරෙමියා කීවේය. “මා උපන් දිනයට ශාපවේවා” කියා යෙරෙමියා කීවේය. “දුකත් ශෝකයත් දැකීමටද මාගේ දවස් ලජ්ජාවෙන් පසුවෙන්ටද මා කුසෙන් නික්ම ආවේ මක්නිසාද?” කියා ඔහු පැවසුවේය (14, 18 පද).

අවසානයේදී ඩෲ ව නිදහස් කරන ලදී. නමුත් ඔහුගේ පීඩාව තුළින් ඔහු තේරුම් ගැනීමට පටන් ගත්තේ සමහර විට දෙවියන්වහන්සේ ඔහුව තෝරා ගත්තේ උන්වහන්සේ යෙරෙමියාව තෝරා ගත්තාක් මෙන් ඔහුත් යෙරෙමියා මෙන් දුර්වලවූ නිසා විය හැකි බවයි. ඩෲ සහ යෙරෙමියා ස්වභාවයෙන්ම ශක්තිමත් වූවා නම්, ඔවුන්ගේ සාර්ථකත්වය සඳහා ඔවුන්ට යම් ප්‍රශංසාවක් ලැබෙනු ඇත. නමුත් ඔවුන් ස්වභාවයෙන්ම දුර්වල නම්, ඔවුන්ගේ නොපසුබස්නා උත්සාහයේ සියලු ගෞරවය දෙවියන්වහන්සේට හිමි වනු ඇත (1 කොරින්ති 1:26-31). ඔහුගේ දුර්වලකම ඔහුව යේසුස්වහන්සේට පාවිච්චි කිරීමට සුදුසුම පුද්ගලයා බවට පත් කළේය.