නිවාඩු සමය ළං වන විට, පෙර නොවූ විරූ ලෙස අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් ගලා ඒම හේතුවෙන් භාන්ඩ බෙදාහැරීම ප්‍රමාද විය. තැපැල් භාන්ඩ බෙදා හැරීමේ වේගය සම්බන්ධයෙන් අපට ඉතා අඩු පාලනයක් ඇති බව අපි දැන සිටි නිසා මගේ පවුලේ අය සාප්පුවට ගොස් භාණ්ඩ මිළදී ගත් කාලයක් මට මතකයි. කෙසේ වෙතත්, මගේ මව කඩිනම් බෙදාහැරීමේ සේවාවක් සඳහා ලියාපදිංචි වූ විට, මෙම අපේක්ෂාව වෙනස් විය. දැන් දින දෙකක් ඇතුළත බෙදා හැරීමේ සහතිකයක් සමඟ, අපි ඉක්මනින් දේවල් ලබා ගැනීමට පුරුදු වී සිටින අතර, ප්‍රමාදයන් නිසා අපි කලකිරීමට පත් වෙමු.

අපි ජීවත් වන්නේ ක්ෂණික තෘප්තියට හුරු වූ ලෝකයක වන අතර බලා සිටීම දුෂ්කර විය හැකිය. නමුත් අධ්‍යාත්මික ක්ෂේත්‍රය තුළ ඉවසීම තවමත් යහපත් විපාක ලබා දෙයි. විලාප ගී පොත ලියන විට, බබිලෝනියානු හමුදාව විසින් යෙරුසලම විනාශ කිරීම ගැන ඊශ්‍රායෙල්වරුන් වැලපෙමින් සිටි අතර, ඔවුන්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදු විය. කෙසේ වෙතත්, අවුල් වියවුල් මධ්‍යයේ, ලේඛකයා නිර්භීතව තහවුරු කළේ දෙවියන්වහන්සේ තම අවශ්‍යතා සපුරාලනු ඇතැයි තමාට විශ්වාස වූ නිසා, තමන් උන්වහන්සේ කෙරෙහි බලා සිටින බවයි (විලාප ගී 3:24). අපගේ යාච්ඤාවලට පිළිතුරු ප්‍රමාද වන විට අප කනස්සල්ලට පත්වන බව දෙවියන්වහන්සේ දන්නා සේක. දෙවියන්වහන්සේ කෙරෙහි බලා සිටීමට අපට මතක් කර දීමෙන් දේව වචනය අපව දිරිමත් කරයි. “උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින” (22 පදය) නිසා අප බලවත් ලෙස හැඟීම් වලට ගොදුරු වී හෝ කනස්සල්ලට පත් විය යුතු නැත. ඒ වෙනුවට, දෙවියන්වහන්සේගේ උපකාරයෙන් අපට “ස්වාමීන් කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටිය” හැකිය (ගීතාවලිය 37:7). අපි ආශාවන් හා පිළිතුරු නොලද යාච්ඤාවන් සමඟ පොරබඳින විට දී පවා දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ විශ්වාසවන්තකම කෙරෙහි විශ්වාසය තබමින් දෙවියන්වහන්සේ කෙරෙහි බලා සිටිමු.