තනිව වැඩ කරන මවක් වන මාරිට සභාවේ දේව මෙහෙයක් හෝ බයිබල් පාඩමක් අතපසු වුණේ කලාතුරකිනි. සෑම සතියකම, ඇය තම දරුවන් පස්දෙනා සමඟ බස් රථයකින් දේවස්ථානයට පැමිණ, දේවස්ථානය සැකසීමට සහ පිරිසිදු කිරීමට උදව් කළාය.

එක් ඉරුදිනක සභා පාලකතුමා මාරිට පැවසුවේ දේවස්ථානයේ ඇතැම් සාමාජිකයන් ඇයගේ පවුලට තෑගි ලබා දුන් බවයි. එක් යුවළක් පවුලට අඩු කුලියට නිවසක් ලබා දුන්නෝය. තවත් යුවළක් ඇයට ඔවුන්ගේ කෝපි හලේ ප්‍රතිලාභ සමඟ රැකියාවක් ලබා දුන්නෝය. තරුණයෙක් තමා විසින් අලුත්වැඩියා කර තිබුණු පැරණි මෝටර් රථයක් ඇයට ලබා දුන් අතර ඇයගේ පුද්ගලික කාර්මිකයා ලෙස සේවය කිරීමටද පොරොන්දු විය. දෙවියන්වහන්සේට සහ එකිනෙකාට සේවය කිරීමට කැප වූ ප්‍රජාවක ජීවත් වීමේ ප්‍රීතිය ගැන මාරි දෙවියන්වහන්සේට ස්තුති කළාය.

මාරිගේ දේවස්ථානයේ පවුල තරම් ත්‍යාගශීලීව දීමට අප සැමට නොහැකි වුවද, දෙවියන්වහන්සේගේ සෙනඟව සැළසුම් කර ඇත්තේ එකිනෙකාට උපකාර කිරීමටය. ශුභාරංචි ලේඛක ලූක් විස්තර කළේ යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් “අපොස්තුළුවරුන්ගේ ඉගැන්වීම්වලට සහ සහභාගිත්වයට” (ක්‍රියා 2:42) “කැප වූ” අය ලෙසටයි. අපි අපගේ සම්පත් ඒකාබද්ධ කළ විට, යේසුස්වහන්සේගේ පළමු ඇදහිලිවන්තයන් කළාක් මෙන් අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට අපට එකට වැඩ කළ හැකිය (44-45 පද). අපි දෙවියන්වහන්සේට සහ එකිනෙකාට ළං වන විට, අපට එකිනෙකා ගැන සැළකිලිමත් විය හැකිය. දෙවියන්වහන්සේගේ සෙනඟගේ ක්‍රියාවන් තුළින් විදහා දැක්වෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන සාක්ෂි දැරීම, අන්‍යයන්ව යේසුස්වහන්සේ සමග ගළවා ගැනීමේ සම්බන්ධතාවයකට ගෙන යා හැකිය (46-47 පද).

අපට සිනහවකින් හෝ කරුණාවන්ත ක්‍රියාවකින් අන් අයට සේවය කළ හැකිය. අපට මූල්‍යමය තෑග්ගක් හෝ යාච්ඤාවක් ලබා දිය හැකිය. දෙවියන්වහන්සේ අප තුළ සහ අප තුළින් ක්‍රියා කරන විට, අපි එක්ව සිටීම වඩා හොඳ ය.