මගේ ලොකු මාමාගේ පැරණි ගොවිපළේ දොර රාමුවේ එල්ලී තිබූ රළු, වාත්තු යකඩ වළල්ලක් ඇමෙරිකාවේ පිහිටි මිනසෝටාහි ශීත ඍතුවට එරෙහිව ශක්තිමත්ව තිබුණේය. අඩි සියයකට වඩා එහායින් කිරි ගබඩාවට තදින් සවිකර තිබූ තවත් වළල්ලක් තිබුණි. හිම කුණාටුවක් ඇති වූ විට, මගේ මාමා නිවස සහ ගබඩාව අතර මාර්ගය සොයා ගැනීමට හැකි වන පරිදි වළලු දෙකම අතර ලණුවක් සවි කළේය. ලණුව මත දැඩි ග්‍රහණයක් තබා ගැනීමෙන් හිම වලින් වැසුණු මාර්ගය නිවැරදිව සොයා ගැනීමට ඔහුට හැකි විය.

මගේ මාමා හිම කුණාටුවකදී ආරක්ෂිත ලණුවක් භාවිතා කිරීම මට මතක් කර දෙන්නේ දාවිත්, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සොයා ගැනීමට හෙබ්‍රෙව් කාව්‍ය පේළි භාවිතා කළ ආකාරයයි. උන්වහන්සේගේ ප්‍රඥාව, ජීවිතය තුළින් අප ගමන් කළ යුතු මාර්ගය පෙන්වන අතර පාපයෙන් හා වැරදිවලින් අපව ආරක්ෂා කරන බව කියයි: “ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය. ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය. මීපැණියටත් මීවදයටත් වඩා මිහිරිය. තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය” (ගීතාවලිය 19:9-11).

අපගේ හදවත් තුළ ක්‍රියා කරන දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ විසින් දන්වන ලද ශුද්ධ ලියවිල්ලේ සත්‍යයන් ස්ථිරව ග්‍රහණය කර ගැනීමෙන් අපට හරි මාර්ගය දැකිය හැකිවන අතර අප ගන්නා තීරණ තුළින් දෙවියන්වහන්සේට සහ අනිත් අයට ගෞරවය ලබා දෙන සේ අපට උපකාර කරයි. දෙවියන්වහන්සේගෙන් ඉබාගාතේ යෑමට එරෙහිව බයිබලය අපට අනතුරු අඟවා උන්වහන්සේට ළඟා වීමට මාර්ගය අපට පෙන්වා දෙන්නේය. අපගේ ගැළවුම්කරුවාණන්ගේ මිළ කළ නොහැකි ප්‍රේමය සහ උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන සියල්ලන්ටම ලැබෙන ආශීර්වාද ගැන එය අපට කියා දෙයි. ශුද්ධ ලියවිල්ල ජීවන මාර්ගයකි! සෑම විටම ශුද්ධ ලියවිල්ල මත රැඳී සිටීමට දෙවියන්වහන්සේ අපට උදව් කරන සේක්වා.