මම සඳුදා දවස් වලට බොහෝසේ බිය වී සිටියෙමි. මම කලින් රැකියාවට ගිය ස්ථානයට, ගමන් කලේ දුම්රියකින්ය. මම එම දුම්රියෙන් බැස, ටික වේලාවක් දුම්රියපලේ වාඩි වී, කාර්යාලයට යාමට මද වේලාවකට විනාඩි කිහිපයකට පමණක් වුවත් ප්‍රමාද වීමට උත්සාහ කළෙමි. නියමිත කාලසීමාවන් සපුරාලීම සහ ආවේගශීලී ලොක්කෙකුගේ මනෝභාවයන් කළමනාකරණය කිරීම ගැන මම කනස්සල්ලට පත්වූ අතර මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.

අපගෙන් සමහරෙකුට, තවත් අඳුරු වැඩ සතියක් ආරම්භ කිරීම විශේෂයෙන් දුෂ්කර විය හැකිය. අපගේ රැකියාවේදී අපට අධික ලෙස යටපත් වීම හෝ අවතක්සේරු කිරීමක් දැනෙන්නට පුළුවන. සාලමොන් රජ වැඩ කිරීමේ වෙහෙසවීම ගැන විස්තර කළේ මෙසේයි: “මක්නිසාද මනුෂ්‍යයා ඉර යට වෙහෙස ගෙන කරන්නාවූ තමාගේ මුළු වැඩෙනුත් තමාගේ සිතේ වෑයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද? ඔහුගේ හැම දවස් ශෝකයම වේ, ඔහුගේ වෙහෙසීමද දුකක්ය” (දේශනාකාරයා 2:22-23).

ප්‍රඥාවන්ත රජු වැඩ රාජකාරින් අඩු ආතතියකින් හෝ වැඩි ප්‍රතිලාභයක් හෝ ලබා දීම සඳහා අපට ක්‍රමයක් ලබා නොදුන්නත්, ඔහු අපට ඉදිරි දර්ශනයේ වෙනසක් ඉදිරිපත් කළේය. අපගේ කාර්ය කොතරම් දුෂ්කර වුවත්, දෙවියන්වහන්සේගේ උපකාරයෙන් එහි “තෘප්තිය සොයා ගැනීමට” ඔහු අපව දිරිමත් කරයි (24 පදය). සමහර විට එය පැමිණෙන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ අපට ක්‍රිස්තුස්වහන්සේ හා සමාන චරිතයක් විදහා දැක්වීමට හැකියාව දීමෙන්ය. එසේත් නැතිනම් අපගේ සේවය තුළින් ආශීර්වාද ලත් කෙනෙකුගෙන් අපව දිරිගන්වන වචන ඇසුණු විටය. එසේත් නැතිනම් දුෂ්කර අවස්ථාවකට මුහුණ දීමට දෙවියන්වහන්සේ ලබා දුන් ප්‍රඥාව අපට මතක් වූ විටය. අපේ වැඩ රාජකාරි අමාරු වුණත්, අපේ විශ්වාසවන්ත දෙවියන්වහන්සේ අපත් සමඟ සිටින සේක. උන්වහන්සේගේ අභිමුඛය සහ බලය අඳුරු දින පවා ආලෝකමත් කරන සේක. උන්වහන්සේගේ උපකාරයෙන්, සඳුදා දවස් ගැන අපට ස්තුතිවන්ත විය හැකිය.