“ඔබ මගේ සිතුවිලි සහ යාච්ඤාවල සිටින්නේය.” ඔබට එම වචන යම් කෙනෙකු කියනවා ඇසුණ හොත්, එම පුද්ගලයා ඇත්තටම එය අදහස් කරන්නේදැයි ඔබට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන. නමුත් එඩ්නා ඩේවිස් විසින් මෙම වචන යමෙකුට කිවාද, එය ගැන කිසි විටෙකත් කල්පනා කිරීමට අවශ්‍ය වූයේ නැත. ඉතා කුඩා නගරයක් වුවත්, සෑම කෙනෙක්ම “මිස්. එඩ්නා ගේ” කහ පහැති සටහන් පොත ගැන දැන සිටියෝය. එම සටහන් පොත, පිටුවෙන් පිටුව, නමෙන් නම සමඟින් පෙළ ගැසී තිබුණි. සෑම උදෑසනකම මෙම මහලු කාන්තාව දෙවියන්වහන්සේට මොරගසමින් යාච්ඤා කළාය. ඇයගේ ලැයිස්තුවේ සිටින සමහර අයට ඔවුන්ට අවශ්‍ය වී තිබුණ යාච්ඤාවේ පිළිතුර නොලැබුණත්, කිහිප දෙනෙක් ඔවුන්ගේ ජීවිතයේ දෙවියන්වහන්සේ තරම් විශාල දෙයක් සිදු වූ බවට ඇගේ අවමංගල්‍යයේදී සාක්ෂි දුන් අතර, ඔවුන් එය එඩ්නා මහත්මියගේ දැඩි යාච්ඤා නිසා කියා ප්‍රකාශ කළහ.

පේත්‍රැස්ගේ සිරගෙදර අත්දැකීමේදී, දෙවියන්වහන්සේ විසින් යාච්ඤාවේ බලය පෙන්නුම් කළ සේක. හෙරොද්ගේ මිනිසුන් විසින් අපෝස්තුළුවරයාව අල්ලාගෙන සිරගෙට දැමීමෙන් පසුව “හේවායින් සතර දෙනෙකු බැගින් ඇති කාණ්ඩ සතරකට ඔහු රැකවල්කරන්ට භාරදුන්නේය” (ක්‍රියා 12:4), ඔහුගේ අපේක්‍ෂාවන් අඳුරු විය. නමුත් “සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤා කළහ” (5 පදය). ඔවුන්ගේ සිතුවිලි සහ යාච්ඤාවන් තුළ පේත්‍රැස් සිටියේය. දෙවියන්වහන්සේ කළ දේ හුදෙක් ආශ්චර්යකි! සිරගෙදරදී පේත්‍රැස් වෙත දේවදූතයෙක් එවන ලදී, එම දූතයා පේත්‍රැස්ව දම්වැල්වලින් නිදහස් කර, ඔහුව සිරගෙදර දොරටුවෙන් ඔබ්බට ආරක්ෂිතව ගෙන ගියේය (7-10 පද).

ඇතැමුන් “සිතුවිලි සහ යාච්ඤාවන්” සැබෑ අර්ථයකින් තොරව කිව හැකිය. නමුත් අපගේ පියාණන්වහන්සේ අපගේ සිතුවිලි දන්නා අතර, අපගේ යාච්ඤාවලට සවන් දී, උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්තට අනුව අප වෙනුවෙන් ක්‍රියා කරන සේක. ශ්‍රේෂ්ඨ හා බලවත් දෙවියන්වහන්සේට අප සේවය කරන විටදී අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීමත් අන් අය අප වෙනුවෙන් යාච්ඤා කිරීමත් සුළු ක්‍රියාවලියක් වන්නේ නැත.