2021 ජුනි මස සන්ධ්‍යාවක ගම්මානයක් හරහා ටොර්නේඩෝවක් නොහොත් සුළි සුළං සහිත චණ්ඩ මාරුතයක් හමා, පවුලක ධාන්‍යාගාරයක් විනාශ කළේය. 1800 ගණන්වල අග භාගයේ සිට මෙම ධාන්‍යාගාරය පවුලේ දේපළක්ව තිබූ නිසා එය කණගාටුදායක පාඩුවක් විය. ජෝන් සහ බාර්බ් පසුදා උදෑසන දේවස්ථානයට යන අතරමගදී, සිදුව ඇති හානිය දැක, ඔවුන්ට උදව් කිරීමට පුළුවන් වන්නේ කෙසේදැයි කල්පනා කළහ. ඒ නිසා ඔවුන් නතර වූ අතර පිරිසිදු කිරීම සඳහා එම පවුලට උපකාර අවශ්‍ය බව දැනගත්තෝය. තම මෝටර් රථය ඉක්මනින් හරවා ගත් ඔවුහු ඇඳුම් මාරු කිරීමට ආපසු නිවස බලා ගියේ ප්‍රචණ්ඩ සුළං ඇති කළ අවුල පිරිසිදු කිරීමට එදින නැවතී සිටීම සඳහාය. ඔවුන් එම පවුලට සේවය කරමින් ඔවුන්ගේ ඇදහිල්ල ක්‍රියාවට නැංවීය.

යාකොබ් පැවසුවේ “ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ” කියාය (යාකොබ් 2:26). තමා යන්නේ කොහේදැයි නොදන්නා විට පවා කීකරුව දෙවියන්වහන්සේව අනුගමනය කළ ආබ්‍රහම්ගේ ආදර්ශය යාකොබ් ඉදිරිපත් කළේය (23 පදය; උත්පත්ති 12: 1-4; 15:6; හෙබ්‍රෙව් 11:8 බලන්න). යෙරිකෝ නගරය පරීක්ෂා කිරීමට පැමිණි ඔත්තුකරුවන්ව සඟවා තබා ඊශ්‍රායෙලයේ දෙවියන්වහන්සේ කෙරෙහි ඇගේ විශ්වාසය පෙන්වූ රාහබ් ගැන ද යාකොබ් සඳහන් කරයි (යාකොබ් 2:25; යෝෂුවා 2 බලන්න; 6:17).

“තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්‍රියාවල් නැත්නම්” (යාකොබ් 2:14) එයින් ඔවුන්ට යහපතක් සිදු නොවේ. “ඇදහිල්ල මුලය, යහපත් ක්‍රියා ඵලය” යනුවෙන් මැතිව් හෙන්රි අදහස් දක්වමින්, “අපට ඒ දෙකම ඇති බවට වගබලා ගත යුතුයි” කියා කිීවේය. දෙවියන්වහන්සේට අපගේ යහපත් ක්‍රියා අවශ්‍ය නැත, නමුත් අපගේ ඇදහිල්ල අපගේ ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු වන්නෙමු.