මම එංගලන්තයට ගිය විට, ඇමරිකාවේ නිවාඩු දිනයක් වූ “ස්තුති දීම,” නොවැම්බර් මාසයේ තවත් එක් බ්‍රහස්පතින්දා දවසක් බවට පත්විය. මම සති අන්තයේ උත්සවයක් සූදානම් කළත්, එදින පවුලේ අය සහ මිතුරන් සමඟ සිටීමට මම ආශා කළෙමි. නමුත් මගේ ආශාවන් මටම අනන්‍ය නොවන බව මට වැටහිණි. විශේෂ අවස්ථා සහ නිවාඩු දිනවලදී අපට ආදරය කරන අය සමඟ සිටීමට අපි කවුරුත් ආශා කරන්නෙමු. අපි සමරන විට පවා, අප සමඟ නොසිටින කෙනෙකුව මතක් වී කණගාටු විය හැකිය, නැතහොත් අපගේ කැඩී බිඳී ගිය පවුල සාමයෙන් සිටීමට යාච්ඤා කළ හැකිය.

මෙම කාලවලදී, යාච්ඤා කිරීම සහ බයිබලයේ ප්‍රඥාව ගැන මෙනෙහි කිරීම මට උපකාරයක් වී ඇත, එසේම, සාලමොන් රජුගේ හිතෝපදේශයක් වන: “පැතූ දේ ප්‍රමාද වීමෙන් සිත කලකිරෙන්නේය; එහෙත් ආශාව ඉෂ්ට වීම ජීවන වෘක්ෂයක්ය” යන්න මෙයට ඇතුළත් වෙයි (හිතෝපදේශ 13:12). මෙම හිතෝපදේශය තුළ, සාලමොන් ඔහුගේ ප්‍රඥාව බෙදාගත් එක් අනුකම්පා සහගත කියමනක් වනුයේ, “කල් දැමූ බලාපොරොත්තුවක්” මගින් ඇතිවිය හැකි බලපෑම ඔහු සටහන් කිරීමය: එනම්, බොහෝ ආශා කළ දෙයක් ප්‍රමාද වීම කෝපයට හා වේදනාවට හේතු විය හැක. නමුත් ආශාව ඉටු වූ විට, එය ජීවන වෘක්ෂයක් වැනි ය – එය අපට ප්‍රබෝධමත් වීමට සහ අලුත් වීමට ඉඩ සලසන දෙයක් බඳු වෙයි.

අපගේ සමහර බලාපොරොත්තු සහ ආශාවන් වහාම ඉටු නොවිය හැකි අතර සමහරක් අප මිය ගිය පසු දෙවියන්වහන්සේ තුළින් පමණක් ඉටු විය හැකිය. අපගේ ආශාව කුමක් වුවත්, උන්වහන්සේ අපට නොනවතින ලෙස ප්‍රේම කරන බව දැන, අපට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. තවද, එසේම යම් දිනයකදී අපි උන්වහන්සේ සමග උත්සව පවත්වමින් උන්වහන්සේට ප්‍රශංසා කරමින් අපගේ ප්‍රේමණීයයන් සමග එක් වන්නෙමු (එළිදරව් 19:6-9 බලන්න).