වෛද්‍යවරුන් විසින් සිව් හැවිරිදි සොලමන්ට ඩුෂන් නම්වූ මාංශ පේශි දුර්වල වීමේ රෝගයක් ඇති බව හඳුනා ගන්නා ලදී. (ඩුෂන් මස්කියුලර් ඩිස්ට්‍රොෆි DMD යනු මූලික වශයෙන් පිරිමි ළමයින්ට බලපාන දරුණු මාංශ පේශි ආබාධයකි). වසරකට පසුව, වෛද්‍යවරු පවුලේ අය සමඟ රෝද පුටු ගැන සාකච්ඡා කළහ. නමුත් සොලමන්, ඔහුට රෝද පුටුවක් භාවිතා කිරීමට අවශ්‍ය නොවන්නේය කියා විරුද්ධ විය. පවුලේ අය සහ මිතුරන් ඔහු වෙනුවෙන් යාච්ඤා කළ අතර හැකි තාක් දුරට රෝද පුටුවෙන් ඔහුව ඈත්ව තබා ගැනීමට වෘත්තීය පුහුණුව ලත් සේවා සුනඛයෙකු සඳහා අරමුදල් රැස් කළහ. මගේ සේවා සුනඛයා, වන කැලී ව, පුහුණු කළ සංවිධානය වන “ටේල්ස් ෆෝ  ලයිෆ්”, දැනට සොලමන්ට සේවය කිරීමට වොෆ්ල්ස් නමැති සුනඛයාව සූදානම් කරමින් සිටීයි.

සොලමන් ඔහුගේ ප්‍රතිකාරය පිළිගත්තත්, බොහෝ විට දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට ගීතිකා ගායනා කළත්, සමහර දවස්වල ඔහුට දැඩි අමාරුකම් දැනී ඇත. එම දුෂ්කර දිනවලින් එකකදී, සොලමන් තම මව වැළඳගෙන, “ස්වර්ගයේ ඩුෂන් නමැති රෝගය නැති නිසා මම සතුටු වෙනවා.” යැයි කීවේය.

අසනීපයේ පිරිහෙන බලපෑම් ස්වර්ගයෙන් මෙතෙර සිටින සියලුම මිනිසුන්ට බලපාන්නේය. කෙසේ වෙතත්, සොලමන් මෙන්, එම නොවැළැක්විය හැකි දුෂ්කර දවස්වලදී අපගේ අධිෂ්ඨානය ශක්තිමත් කළ හැකි කල්පවත්නා බලාපොරොත්තුවක් අපට තිබේ. දෙවියන්වහන්සේ අපට “අලුත් අහසක් ද අලුත් පොළොවක් ද ….” පිළිබඳ පොරොන්දුව ලබා දෙයි (එළිදරව් 21:1). අපගේ මැවුම්කරු සහ පෝෂකයාණෝ අප සමඟ උන්වහන්සේගේ නිවස සාදා ගැනීමෙන් අප අතර “වාසය” කරනු ඇත (3 පදය). “උන්වහන්සේ අපගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන සේක. මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬිමත් වේදනාවත් තවත් නොවන්නේය” (4 පදය). බලා සිටීම “ඉතා දුෂ්කර” හෝ “දීර්ඝ වැඩි” බවක් දැනෙන විට, දෙවියන්වහන්සේගේ පොරොන්දුව ඉටු වන නිසා අපට සාමය අත්විඳිය හැකිය.