“බ්‍රෝක්” (බංකොලොත්) යනු ග්‍රේඩිට පටබැඳුනු නාමය වූ අතර එම අකුරු ඔහුගේ වාහන අංක තහඩු මත ආඩම්බරයෙන් කැපී පෙනෙන සේ ඉස්මතු කර තිබුණි. අධ්‍යාත්මික අර්ථයෙන් අදහස් නොකළත්, එම නම මැදිවියේ සූදුකාරයාට, සල්ලාලයාට සහ රැවටිලිකාරයාට හොඳින් ගැළපෙයි. ඔහුගේ ජීවිතය කැඩි බිඳී ගොස් තිබූ අතර, බංකොලොත් වී, දෙවියන්වහන්සේගෙන් ඉතා ඈත්ව තිබුණි. කෙසේ වෙතත්, එක් සන්ධ්‍යාවක හෝටල් කාමරයකදී දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින් ඔහු වැරදිකරුවෙකු බව පෙන්වා දුන් පසු ඒ සියල්ල වෙනස් විය. ඔහු තම බිරිඳට පැවසුවේ, “මම හිතන්නේ මට ගැළවීම ලැබෙනවා!” කියාය. එදින සවස ඔහු තමා සමඟ මිනීවළ තෙක් යාවි යැයි සිතූ පව් පාපොච්චාරණය කර සමාව සඳහා යේසුස්වහන්සේ වෙත පැමිණියේය. අවුරුදු හතළියක් ජීවත් වනු ඇතැයි නොසිතූ ඔහු, ඊළඟ අවුරුදු තිහ තුළ යේසුස් සමිදාණන් තුළ වෙනස් වූ ඇදහිලිවන්තයෙකු ලෙස දෙවියන්වහන්සේට සේවය කළේය. ඔහුගේ වාහන අංක තහඩු ද වෙනස් විය – එනම්, මුලින් ඔහු “බංකොලොත්” යනුවෙන් හැඳින් වූ තම පටබැඳි නම “පසුතැවිලි වන්න” කියා වෙනස් කරන ලදී.

පසුතැවිලි වන්න. ග්‍රේඩි කළේ එයයි. එසේම හොෂෙයා 14:1-2 හි පසුතැවිලි වන්නැයි කියා දෙවියන්වහන්සේ ඊශ්‍රායල් දේශයට පැවසූවේද එයමය : “ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්න; … නුඹලා වචන රැගෙන ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඇවිත්, උන්වහන්සේට කථාකොට: අපේ සියලුම අපරාධවලට කමාවී, කරුණාවෙන් අප පිළිගත මැනව”. ලොකු හෝ කුඩා, ස්වල්පයක් හෝ බොහෝ, අපගේ පව් අපව දෙවියන්වහන්සේගෙන් වෙන් කරයි. නමුත් පාපයෙන් දෙවියන්වහන්සේ වෙත හැරී යේසුස්වහන්සේගේ මරණය තුළින් උන්වහන්සේ කරුණාවෙන් සපයා ඇති සමාව ලබා ගැනීමෙන් පරතරය වසා දැමිය හැකිය. ඔබ ක්‍රිස්තුස්වහන්සේ තුළ අරගල කරන ඇදහිලිවන්තයෙකු වුවද නැතහොත් ග්‍රේඩිගේ ජීවිතය මෙන් පෙනෙන අයෙකු වුවද, ඔබගේ සමාව ඈත්වී තිබෙන්නේ යාච්ඤාවක දුරින් පමණය.