මීට වසර කිහිපයකට පෙර, ශුභාරංචි ගායක කණ්ඩායමක් ගායනා කරන “යේසු මා සමඟ ගමන් කරයි” යන ගීතය ජනප්‍රිය ගීත දත්ත සටහන් වලට ඇතුළත් වූයේය. පද රචනය පිටුපස ප්‍රබල කතාවක් ඇත.

ජෑස් සංගීතඥ කර්ටිස් ලුන්ඩි විසින් ගායන කණ්ඩායම ආරම්භ කරන ලද්දේ ඔහු කොකේන් නමැති මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ප්‍රතිකාර සඳහා වැඩ සටහනකට ඇතුළු වූ අවස්ථාවේදීය. සෙසු ඇබ්බැහි වූවන් එකට එකතු කරමින් සහ පැරණි ගීතිකාවක ආශ්වාදයක් ලබා ගනිමින්, පුනරුත්ථාපනය කරන අයගේ බලාපොරොත්තුවේ ගීතිකාවක් ලෙස ඔහු එම ගීතය ලිවීය. “අපි අපේ ජීවිත වෙනුවෙන් ගායනා කළෙමු” කියා එක් ගායක සාමාජිකයෙක් ගීතය ගැන පවසයි. “අපව බේරගන්න, මත්ද්‍රව්‍යවලින් බේරෙන්න උදව් කරන්න කියා අපි යේසුස්වහන්සේගෙන් ඉල්ලුවෙමු” කියා ඔහු පැවසුවේය. තවත් අයෙක් ගීතය ගායනා කරන විට ඇගේ නිදන්ගත වේදනාව පහව ගිය බව සොයා ගත්තාය. එම ගායන කණ්ඩායම හුදෙක් කොළයක් මත වචන ගායනා කළා පමණක් නොව මිදීම සඳහා ඉතා දුෂ්කර යාච්ඤාවන් දෙවියන්වහන්සේට ඉදිරිපත් කළහ.

අද දේව වචනයේ කියවීම ඔවුන්ගේ අත්දැකීම් හොඳින් විස්තර කරයි. ක්‍රිස්තුස්වහන්සේ තුළ, අපගේ දෙවියන්වහන්සේ සියලු මිනිසුන්ට ගැළවීම ලබා දීමට දර්ශනය වී ඇත (තීතස් 2:11). සදාකාල ජීවනය මෙම ත්‍යාගයේ කොටසක් වන අතර (13 පදය), ආත්ම දමනය නැවත ලබා ගැනීමට, ලෞකික ආශාවන්ට එපා යැයි පැවසීමට සහ උන්වහන්සේ සමඟ ජීවත්වීම සඳහා අපව මුදවා ගැනීමට අපට බලය ලබා දීමට දෙවියන්වහන්සේ දැන් අප වෙනුවෙන් ක්‍රියා කරන සේක (12 සහ 14 පද). ගායන සාමාජිකයින් සොයා ගත් පරිදි, යේසුස්වහන්සේ අපගේ පව්වලට සමාව දෙනවා පමණක් නොව උන්වහන්සේ විනාශකාරී ජීවන රටාවන්ගෙන් අපව නිදහස් කරන සේක.

යේසුස්වහන්සේ ඔබ සමඟත් මා සමඟත් උන්වහන්සේගෙන් උපකාර ඉල්ලා මොරගසන ඕනෑම කෙනෙකු සමඟත් ගමන් කරන සේක. උන්වහන්සේ අප සමඟ සිටිමින් අපගේ ගැලවීම සහ අනාගතය සඳහා දැන් බලාපොරොත්තුවක් ලබා දෙන සේක.