බාබකියු කළ කුකුලු මස්, බෝංචි, ස්පැගටි, රෝල්ස්. ඔක්තෝම්බර් මාසයේ සිසිල් දිනක, නිවසක් නැති පනස් හතර දෙනෙකුට පමණ මෙම උණුසුම් ආහාර වේල ලැබුණේ සිය පනස් හතර වැනි උපන් දිනය සමරන කාන්තාවක්ගෙනි. මෙම කාන්තාව සහ ඇගේ මිතුරියන් ආපන ශාලාවක ඇගේ සුපුරුදු උපන්දින රාත්‍රී ආහාරය අත්හැරීමට තීරණය කර, ඒ වෙනුවට චිකාගෝහි වීදිවල ජීවත්වන මිනිසුන්ට ආහාර පිසීමට සහ පිරිනැමීමට තෝරා ගත්තෝය. උපන්දින තෑග්ගක් ලෙස අහඹු ලෙස කරුණාවන්ත ක්‍රියාවක් කිරීමට සමාජ මාධ්‍ය තුළින්, ඇය අන් අයව දිරිමත් කළාය.

මෙම කතාව තුළින් මතෙව් ශුභාරංචියේ 25 වන පරිච්ඡේදයේ හි යේසුස්වහන්සේගේ වදන් මට මෙසේ මතක් කර දෙයි: “සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක” (40 පදය). උන්වහන්සේගේ බැටළුවන්ට ඔවුන්ගේ උරුමය ලබා ගැනීම සඳහා උන්වහන්සේගේ සදාකාලික රාජ්‍යයට ආරාධනා කරන බව ප්‍රකාශ කිරීමෙන් පසු උන්වහන්සේ මෙම වචන කීසේක (33-34 පද). එම අවස්ථාවේදී, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය නොතැබූ උඩඟු ආගමික මනුෂ්‍යන් මෙන් නොව, උන්වහන්සේ කෙරෙහි ඇති අවංක ඇදහිල්ල නිසා උන්වහන්සේට ආහාර හා ඇඳුම් පැළඳුම් දුන් අය ඔවුන් බව, ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ පිළිගන්නා සේක (බලන්න 26:3-5). යේසුස්වහන්සේට ආහාර ලබා දී ඇඳුම් දුන්නේ කවදාද කියා “ධර්මිෂ්ඨයන්” ප්‍රශ්න කළ විටදී (25:37), ඔවුන් අන් අය වෙනුවෙන් කළ දේ උන්වහන්සේ වෙනුවෙන් කළ බව උන්වහන්සේ ඔවුන්ට සහතික කරන සේක (40 පදය).

උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය සහ උන්වහන්සේ සමඟ ඇති සබඳතාව පෙන්නුම් කරමින් දෙවියන්වහන්සේගේ සෙනඟව රැකබලා ගැනීමට උන්වහන්සේ අපට උපකාර කරන එක් මාර්ගයක් වන්නේ කුසගින්නෙන් පෙළෙන අයව පෝෂණය කිරීමය. අද දිනදී අන් අයගේ අවශ්‍යතා සපුරාලීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක්වා.