2011 දී, දරුවන් නොමැතිව දශකයකට පසු, මගේ බිරිඳ සහ මම නව රටක ජීවිතය නැවත ආරම්භ කිරීමට තීරණය කළෙමු. මෙම පියවර ප්‍රබෝධමත් වූවත්, ඒ සඳහා මගේ නිවේදක වෘත්තියෙන් ඉවත් වීමට අවශ්‍ය වූ අතර එය මට මග හැරුණි. පාළුවක් දැනුණු මම මගේ මිතුරෙකු වන ලියම්ගෙන් උපදෙස් ඉල්ලා සිටියෙමි.

“තවදුරටත් මගේ කැඳවීම කුමක්දැයි මම නොදනිමි,” කලකිරීමෙන් යුතුව මම ලියම්ට කීවෙමි. “ඔබ මෙහි නිවේදන කටයුතු කරන්නේ නැද්ද?” කියා ඔහු ඇසුවේය. එසේ නොකරන බවට මම පිළිතුරු දුන්නෙමි. “ඔබේ විවාහය කොහොමද?” කියා ඔහු මගෙන් තව දුරටත් ඇසුවේය.

ඔහුගේ මාතෘකාව වෙනස් වීම ගැන පුදුමයට පත්වූ මම ලියම්ට පැවසුවේ මෙරින් සහ මම හොඳින් සිටින බවයි. අප එකට හද කම්පා කරවන කාරණයකට මුහුණ දුන් නුමුත් මතුවූ දුෂ්කරතා හරහාද අප දෙදෙනා සමීපයෙන් සිටින බව පැවසුවෙමි.

“කැපවීම ශුභාරංචියේ හරයයි,” ඔහු සිනාහසෙමින් පැවසීය. “අනර්ඝයි, ඔබේ වැනි කැපවූ විවාහයන් ලෝකය දැකිය යුතුයි!  ඔබ ඔබම වීමෙන්ම, ඔබ දෙදෙනා දැනටමත් කර ඇති බලපෑම ඔබට නොදැනෙනවා ඇති” කියා ඔහු තව දුරටත් පැවසීය.

දුෂ්කර රැකියා තත්ත්වයක් නිසා තිමෝති කලකිරීමට පත් වූ විට, අපෝස්තුළු පාවුල් ඔහුට වෘත්තීය ඉලක්ක ලබා නොදුන්නේය. ඒ වෙනුවට ඔහු තිමෝතිව දිරිමත් කළේ දේව භක්තික ජීවිතයක් ගත කිරීමටයි. එනම්, ඔහුගේ කතාවෙන්, හැසිරීමෙන්, ප්‍රේමයෙන්, ඇදහිල්ල සහ පිරිසිදුකම තුළින් ආදර්ශයක් ලබා දෙන ලෙසටය (1 තිමෝති 4:12-13, 15). විශ්වාසවන්තව ජීවත් වීමෙන් ඔහුට අන් අයට වඩාත් හොඳින් බලපෑමක් ඇති කළ හැකිය.

අපගේ වෘත්තීය සාර්ථකත්වය මත පදනම්ව අපගේ ජීවිත අගය කිරීම පහසුය. නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ අපගේ චරිතයයි. මට එය අමතක වී තිබුණි. නමුත් සත්‍යයේ වචනයක් තුළින්, කරුණාවන්ත ක්‍රියාවක් තුළින්, කැප වූ විවාහයක් තුළින් පවා විශිෂ්ට වෙනසක් ඇති කළ හැකිය. හේතුව, මෙම ගුණාංග හරහා දෙවියන්වහන්සේගේම යහපත්කම ලෝකය ස්පර්ශ කරන නිසාය.