මගේ ඇස්වලට නත්තල් ගස ගින්නෙන් ඇවිලෙනවාක් මෙන් පෙණුනි! කෘතිම විදුලි පහන් වැල් නිසා නොව නමුත් සැබෑ ගින්නෙන්ය. අපේ පවුලට මිතුරෙකුගේ “පැරණි ජර්මානු ක්‍රමය” අනුව පවත්වනු ලබන උත්සවයකට ආරාධනා කරන ලද අතර එය රසවත් සාම්ප්‍රදායික අතුරුපස සහ සැබෑ, දැල්වූ ඉටිපන්දම් සහිත ගසක් ඇතුළත් උත්සවයකි. (ආරක්ෂාව සඳහා, අලුතින් කපන ලද ගස එක් රාත්‍රියක පමණක් ආලෝකමත් කරන ලදී.)

ගස ඇවිලෙනවා මෙන් දුටු මා හට දැවෙන පඳුර තුළ දෙවියන්වහන්සේ මෝසෙස්ට හමුවූ අවස්ථාව මතක් විය. පාළුකරයේ, බැටළුවන් රැකබලා ගනිමින් සිටියදී  මෝසෙස්  ගිනිදැල්වලින් දැවී නොගිය දැවෙන පඳුරක් දැක පුදුමයට පත් විය. ඔහු ඒ ගැන සොයා බැලීමට පඳුර ළඟට යන විට, දෙවියන්වහන්සේ ඔහුට හඬ ගැසූ සේක. දැවෙන පඳුරෙන් ලැබුණු පණිවිඩය විනිශ්චය පිළිබඳ එකක් නොව ඊශ්‍රායෙල් සෙනඟ ගළවා ගැනීම පිළිබඳවය. ඊජිප්තුවේ වහල්භාවයේ සිටි තම සෙනඟගේ ව්‍යසනය සහ දුක්ඛිත තත්ත්වය දුටු දෙවියන්වහන්සේ “ඔවුන්ව නිදහස් කිරීමට” බැස්ස සේක (නික්මයාම 3:8).

දෙවියන්වහන්සේ විසින් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවරුන්ගෙන් ගළවා ගත් අතර, මුළු මිනිස් සංහතියටම තවමත් ගැළවීම අවශ්‍ය විය – ඒ ශාරීරික දුක් වේදනාවලින් පමණක් නොව, නපුර හා මරණය අපේ ලෝකයට ගෙන ආ බලපෑම්වලින්ද වන්නේය. වසර සිය ගණනකට පසු, දෙවියන්වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ, උන්වහන්සේගේ පුත්‍රයාණෝ වන යේසුස්වහන්සේ (යොහන් 1:9-10) එවීමෙනි. එසේ එවන ලද්දේ “ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය” (3. 17).