එක් උදෑසනක අපේ කුඩා දරුවන් උදෑසනම අවදිවී තමන්ගේම උදෑසන අහාර වේල පිළියෙළ කිරීමට තීරණය කළෝය. එම සතිය තුළ බොහෝ වැඩ කටයුතු වලට මුහුණ දී වෙහෙසට පත්ව සිටි මම සහ මගේ බිරිඳ එම සෙනසුරාදා අවම වශයෙන් උදෑසන 7 වන තුරුවත් නිදා ගැනීමට උත්සාහ කළෙමු. එක්වරම යමක් බිම වැටෙනවා වැනි මහත් හඬක් මට ඇසුනි! මම ඇඳෙන් පැන මුළුතැන්ගෙයට දිව ගිය අවස්ථාවේදී, කැඩුණු බඳුනක්ද, බිම පුරා ඕට්ස්ද සහ අපේ පස් හැවිරිදි ජෝනාස් තමාගේ මුළු ශක්තිය යොදාගෙන හැඩිවූ බිම අතුගා දැමීමට දැඩි උත්සහයෙන් වැඩ කරනවාත් දුටුවෙමි. මගේ දරුවන්ට බඩගින්න තිබුණද ඔවුන් උදව් ඉල්ලීමට අකමැති විය. අපෙන් යැපෙනවා වෙනුවට, ඔවුන් ස්වාධීනත්වය තෝරා ගත් අතර, ප්‍රතිඵලය නිසැකවම සතුට ගෙනෙන රසවත් කෑම වේලක් නොවීය.

මනුෂ්‍යයන් වශයෙන්, දරුවන් යැපීමේ මට්ටමේ සිට ස්වාධීනත්වය දක්වා වර්ධනය විය යුතුයි. නමුත් දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවයේ පරිණතභාවය යනු ස්වාධීනත්වයේ සිට උන්වහන්සේ මත යැපීම දක්වා ගමන් කිරීමයි. යාච්ඤාව යනු අපට එවැනි යැපෙන ක්‍රම පුරුදු කරන මාර්ගයයි. යේසුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට සහ උන්වහන්සේව අදහාගත් අප සියලු දෙනාට – “අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව” (මතෙව් 6. 11) යනුවෙන් යාච්ඤා කිරීමට ඉගැන්වූ විට, උන්වහන්සේ යැපීම පිළිබඳ යාච්ඤාවක් උගන්වමින් සිටිසේක. භෝජනය යනු පෝෂණය, ගැළවීම සහ මග පෙන්වීම සඳහා රූපකයකි (11-13 පද). ඒ සියල්ලට සහ තවත් බොහෝ දේ සඳහා අපි දෙවියන්වහන්සේ මත යැපෙන්නෙමු.

යේසුස්වහන්සේ තුළ ‘ස්වකීය උත්සාහයෙන් වර්ධනය වූ‘ ඇදහිලිවන්තයන් නොමැත, එසේම, අපි කිසි විටෙකත් දෙවියන්වහන්සේගේ කරුණාවේ අවශ්‍යතාවය ඉක්මවා නොයන බව අප සැමවිටම මතක තබා ගත යුතු වන්නෙමු. අපගේ ජීවිත කාලය පුරාවටම, “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි” (9 පදය) කියා යාච්ඤා කරන විට යැපීමේ ආකල්පයෙන් අපගේ දවස ආරම්භ කරමු.