මීට වසර කිහිපයකට පෙර, මිනිසෙක් මට ඉදිරියෙන් අඩි 20ක පමණ දුරින් ඇවිද ගියේය. ඔහුගේ දෑත් බඩු-මලු වලින් පිරී ඇති බව මට පැහැදිලිවම පෙනුණි. හදිසියේම, ඔහු පැකිල වැටුන අතර ඔහුගේ අත් වල බඩු-මලුද විසී වී ගියේය. ඔහුගේ අතින් වැටුනු දේ එකතු කිරීමට ඔහුට උදව් කිරීමට කිහිප දෙනෙක් පැමිණි අතර ඔහුගේ දෙපයින් නැඟී සිටීමටද ඔවුහු උදව් කළහ. නමුත් ඔවුන්ට යමක් මග හැරී ගියේය – එනම්, ඔහුගේ මුදල් පසුම්බිය. මම එය රැගෙන නාඳුනන පුද්ගලයා පසුපස හඹා ගියේ එම වැදගත් දේ ආපසු ලබා දීමේ බලාපොරොත්තුවෙනි. මම “සර්, සර්!” කියා කෑගැසුවෙමි. අවසානයේ ඔහුගේ අවධානය ලබා ගත්තෙමි. මම ඔහුට ළඟා වන විටම ඔහු හැරුණි. මම මුදල් පසුම්බිය දිගු කරන විට, මා දුටු ඔහුගේ පුදුමාකාර සහනයේ සහ අතිමහත් කෘතඥතාවේ පෙනුම මට කිසිදා අමතක නොවනු ඇත.

එම මනුෂ්‍යයා පසුපස ගමන් කිරීමෙන් ආරම්භ වූ ගමන සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් බවට පත් විය. බොහෝ ඉංග්‍රීසි පරිවර්තනවලට හුරුපුරුදු ගීතාවලිය 23 හි අවසාන පදයේ ෆොලෝ නොහොත් පසුපස පැමිණීම (Follow) යන වචනය භාවිතා කරයි. “සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය.” (6 පදය). තවද “මා අනුව එන්නේය” යන්න ගැළපෙන නමුත්, ඒ සඳහා භාවිතා කරන නියම හෙබ්‍රෙව් වචනය වඩාත් බලවත් සහ ආක්‍රමණශීලීය. වචනානුසාරයෙන් මෙහි අදහස වන්නේ “ලුහුබැඳ යාම හෝ පැන්නීම වන්නේය. එනම් ගොදුර අල්ලන සතා තම ගොදුර ලුහු බැඳ යාම වැනිය (බැටළුවන් ලුහුබැඳ යන වෘකයෙකු ගැන සිතන්න).

ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ යහපත්කම සහ ප්‍රේමය හුදෙක් අප පසුපස හඹා එන්නේ සාමාන්‍ය වේගයකින් හෝ මන්දගාමීව මෙන් නොවේ. “නිසැකවම” අපව ලුහුබඳිනු ලබන්නේ හෝ පන්නනු ලබන්නේ – චේතනාවෙන් යුතුවය. හරියටම මිනිසෙකු තවත් කෙනෙක්ගේ මුදල් පසුම්බිය ආපසු ලබා දීමට ලුහුබැඳ යනවා සේම, අපට සදාකාලික ප්‍රේමයකින් ප්‍රේම කරන යහපත් එඬේරා අප පසුපස හඹා එන සේක (1, 6 පද).