ඉංග්‍රීසි කවියෙකු වූ විලියම් කව්පර් (1731-1800), මිතුරෙකු සොයා ගත්තේ හිටපු වහල් වෙළෙන්දෙක් වන ඔහුගේ දේවගැති ජෝන් නිව්ටන් (1725-1807) තුළය. කව්පර් මානසික අවපීඩනයෙන් හා කාංසාවෙන් පෙළුණු අතර, කිහිප වතාවක්ම සියදිවි නසාගැනීමටද උත්සාහ කළේය. නිව්ටන් ඔහුව හමුවීමට ගිය විට, ඔවුන් බොහෝ දුර ඇවිදිමින් දෙවියන්වහන්සේ ගැන කතා කළහ. කව්පර් නිර්මාණශීලීව යමක නියැලීමෙන් ඔහුගේ කවි ලිවීමට ඇති හැකියාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි සිතූ දේවගැතිවරයාට ගීතිකා පොතක් සම්පාදනය කිරීමට අදහසක් ඇති විය. “දෙවියන්වහන්සේ පුදුමාකාරයෙන් ක්‍රියා කරන සේක” ඇතුළු බොහෝ ගීත සඳහා කව්පර් දායක විය. නිව්ටන් වෙනත් දේවස්ථානයකට මාරු වීමක් ලැබුවද, ඔහු සහ කව්පර් ශක්තිමත් මිතුරන් වූ අතර කව්පර්ගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ ඔවුන් නිතිපතා ලිපි හුවමාරු කර ගත්හ.

පරණ ගිවිසුමේ දාවිත් සහ යොනාතාන් සමඟ කව්පර් සහ නිව්ටන්ගේ ශක්තිමත් මිත්‍රත්වය අතර සමානකම් මම දකිමි. දාවිත් ගොලියත් පරාජය කිරීමෙන් පසු, “යොනාතාන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණයට බැඳී,” තමන්ට මෙන් දාවිත්ට ප්‍රේම කළේය (1 සාමුවෙල් 18:1). යොනාතාන් සාවුල් රජුගේ පුත්‍රයා වුවද, ඔහු රජුගේ ඊර්ෂ්‍යාවට සහ කෝපයට එරෙහිව දාවිත්ව ආරක්ෂා කරමින්, දාවිත්ව මරණයට පත් කළ යුත්තේ මන්දැයි ඔහුගේ පියාගෙන් විමසීය. ප්‍රතිචාර වශයෙන්, “සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ල වීසි කළේය” (20:33). යොනාතාන්, තමා වෙතට පැමිණි ආයුධයෙන් ඉවතට පැන්න අතර ඔහුගේ මිතුරාට තමාගේ පියා විසින් කරන මෙම නින්දිත සැළකීම ගැන දුක් විය (34 පදය).

මිතුරන් දෙපිරිසම, දෙවියන්වහන්සේට සේවය කිරීමට සහ ප්‍රේම කිරීමට ඔවුන් එකිනෙකාව පෙළඹ වූ අතර ඔවුන්ගේ බැඳීම ජීවනදායක විය. ඒ ආකාරයට අද දින මිතුරෙකුව දිරිමත් කළ හැක්කේ කෙසේද?