2019 දී, එක්සත් ජනපදයේ දී යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ගේ අධ්‍යාත්මික උරුමය සොයා බලන පර්යේෂණයකින් හෙළි වූයේ මව්වරුන් සහ ආච්චිලාගෙන් අධ්‍යාත්මික සංවර්ධනයට සැළකිය යුතු බලපෑමක් ඇති වන බවයි. තම ඇදහිල්ලේ උරුමය ප්‍රකාශ කරන පුද්ගලයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ ඇදහිල්ලට හේතු වූයේ තම මව බවත් තුනෙන් එකක් පිළිගත්තේ ආච්චි හෝ සීයා (සාමාන්‍යයෙන් ආච්චි) බවත් සහ ඔවුන් විසින් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බවත් සඳහන් කළහ.

වාර්තාවේ කතුවරයා සඳහන් කළේ, “නැවත නැවතත්, මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ අධ්‍යාත්මික සංවර්ධනයේ මව්වරුන්ගේ කල්පවත්නා බලපෑම” ගැනයි. එය අප ශුද්ධ ලියවිල්ලෙන් ද සොයා ගන්නා බලපෑමකි.

පාවුල් විසින් තමාගේ අනුගාමිකයෙකු වූ තිමෝතිට ලියූ ලිපියේ සඳහන් වන්නේ, තිමෝතිගේ ඇදහිල්ල ඔහුට ආදර්ශවත් වූයේ ඔහුගේ ආච්චි ලොයිස් සහ ඔහුගේ මව එවුනිකි (2 තිමෝති 1:5) නිසා බවයි. එය මුල් සභාවේ එක් නායකයෙකුට කාන්තාවන් දෙදෙනෙකුගේ බලපෑම ඉස්මතු කරන රසවත් පෞද්ගලික විස්තරයකි. ඔවුන්ගේ බලපෑම පාවුල් විසින් තිමෝතිට දෙන්නාවූ දිරිගැන්වීමෙන් දැකිය හැකිය, “ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න” (3:15).

ශක්තිමත් ආත්මික උරුමයක් වටිනා තෑග්ගකි. නමුත් තිමෝතිගේ ඇදහිල්ල ගොඩනැගීමට උපකාර වූ ආකාරයේ ධනාත්මක බලපෑම් අපගේ හැදී වැඩීමට නොතිබුණද, අපගේ අධ්‍යාත්මික දියුණුව හැඩගස්වා ගැනීමට උපකාර කිරීමේදී ගැඹුරු බලපෑමක් ඇති කළ තවත් අය අපගේ ජීවිතයේ සිටිනු ඇත. වැදගත්ම දෙය නම්, අප අවට සිටින අයට අවංක ඇදහිල්ල ආදර්ශයට ගැනීමට සහ කල්පවත්නා උරුමයක් ඉතිරි කිරීමට අප සැමට අවස්ථාව තිබීමයි.