ක්ලාක්ස් නට්ක්‍රැක(ර්) යනු පුදුමාකාර පක්ෂියෙකි. සෑම වසරකම මෙම පක්ෂියා  සුදු පොතු පයින් ගසේ බීජ හතරක් හෝ පහක් බැගින් – පැයකට බීජ පන්සියයක් පමණ – කුඩා රහස් කාමරවල සඟවා ශීත ඍතුව සඳහා සූදානම් වෙයි. ඉන්පසුව, මාස කිහිපයකට පසු, එය අධික හිමවලින් වැසී තිබුණත් බීජ පිටතට ගැනීමට නැවත පැමිණෙයි. ක්ලාක්ස් නට්ක්‍රැක(ර්) පක්ෂියෙකුට බීජ සඟවා ඇති ස්ථාන දස දහසක් පමණ මතක තබා ගත හැකිය – එය විස්මය ජනක දෙයකි (විශේෂයෙන් මිනිසුන් වන අපට අපගේ මෝටර් රථයේ යතුර හෝ ඇස් කන්නාඩිය ඇති ස්ථානය මතක තබා ගැනීමට ඇති දුෂ්කරතාවය ගැන සලකා බලන විට).

නමුත් මෙම ඇදහිය නොහැකි මතක ශක්තිය පවා අපගේ යාච්ඤාවන් මතක තබා ගැනීමට දෙවියන්වහන්සේට ඇති හැකියාව හා සසඳන විට ඉතා සුළු දෙයකි. සෑම අවංක යාච්ඤාවක්ම පෙළගැස්වීමටත්, වසර ගණනාවකට පසුව පවා ඒවා මතක තබා ගැනීමටත් ඒවාට ප්‍රතිචාර දැක්වීමටත් දෙවියන්වහන්සේට හැකියාව ඇත. එළිදරව් පොතේ, අපෝස්තලු යොහන් මෙසේ විස්තර කරයි: “ජීවමාන සත්වයෝ සතරදෙනා සහ වැඩිමහල්ලෝ විසිහතරදෙනාත් ” ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට නමස්කාර කරමින් සිටියහ. එකිනෙකා “ශුද්ධවන්තයන්ගේ යාච්ඤා නමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන, බැටළුපැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය” (එළිදරව් 5:8).

පුරාණ ලෝකයේ සුවඳ දුම් අනර්ඝ වූවා සේම, අපගේ යාච්ඤාවන් දෙවියන්වහන්සේට කොතරම් අනර්ඝද කියා කියතොත්, උන්වහන්සේ මෙම යාච්ඤා නොකඩවා උන්වහන්සේ ඉදිරියෙහි රන් පාත්‍රවල නිධානයක් සේ තබා ගෙන සිටින සේක. දෙවියන්වහන්සේට අපගේ යාච්ඤා වැදගත් වන්නේ අප උන්වහන්සේට වැදගත් වන නිසාය. එසේම, යේසුස්වහන්සේ තුළ අපට උන්වහන්සේගේ මහත් කරුණාව මගින් උන්වහන්සේ වෙතට බාධාවකින් තොරව අපට ප්‍රවේශය ලබා දෙයි (හෙබ්‍රෙව් 4: 14-16). එබැවින් නිර්භීතව යාච්ඤා කරන්න! දෙවියන්වහන්සේගේ පුදුමාකාර ප්‍රේමය නිසා වචනයක්වත් අමතක නොවන බව හෝ අස්ථානගත නොවන බව දැන ගන්න.