කුඩා පාපැදිය තම කුඩා පාද වලින් හැකි තරම් වේගයෙන් පැදවූ තම දියණිය පිටුපසින් තරුණ මවක් දිව ගියාය. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වේගයක් ලබා ගත් කුඩා දැරිය එක්වරම පාපැදියෙන් බිමට පෙරළී තම වළලුකර රිදෙන බව පවසමින් හැඬුවාය. ඇගේ අම්මා නිහඬව දණින් වැටී, පහතට නැමී, “වේදනාව නැති කිරීමට” එතැන සිප ගත්තාය. එය වැඩ කළේය! කුඩා දියණිය නැගිට ආපසු පාපැදියට නැග පැද ගියාය. අපගේ සියලු වේදනාවන් එතරම් පහසුවෙන් පහව යනු ඇතැයි ඔබ නොසිතන්නේද?

අපෝස්තලු පාවුල් ඔහුගේ අඛණ්ඩ අරගලවලදී දෙවියන්වහන්සේගේ සහනය අත්විඳිමින් දිගටම තමන්ගේ සේවයේ පැවතුණි. ඔහුට විඳීමට සිදුවූ ප්‍රශ්න වලින් සමහරක් 2 කොරින්ති 11:23-29හි ඔහු ලැයිස්තු ගත කළේය: එනම්, කස පහර, පහර ලැබීම, ගල් ගැසීම්, නින්ද අහිමි වීම, කුසගින්න සහ  සියලු සභාවන් ගැන සිතේ බර යනාදියයි. දෙවියන්වහන්සේ “දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූ ද” (1:3) හෝ වෙනත් අනුවාදයක් පරිවර්තනය කරන පරිදි: “උන්වහන්සේ මෘදු මොළොක් ආදරය ලබා දෙන පියා” බව පාවුල් සමීපව ඉගෙන ගත්තේය. මවක් තම දරුවා සනසන්නාක් මෙන්, අපගේ වේදනාවේදී මෘදු මොළොක් ලෙස අපව රැකබලා ගැනීමට දෙවියන්වහන්සේ පහතට නැමෙන සේක.

අපව සනසවන දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය ක්‍රම බොහෝමයක් වන අතර එය විවිධාකාර වේ. කිසිම බාධාවක් නැතුව අපගේ කටයුතු කරගෙන යාමට දිරිගන්වන ශුද්ධ ලියවිලි පදයක් උන්වහන්සේට අපට ලබා දිය හැක, එසේත් නැත්නම් විශේෂ සටහනක් යැවීමට හෝ අපගේ ආත්මය ස්පර්ශ කරන දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසට උන්වහන්සේ විසින් අපගේ මිතුරෙකුට මග පෙන්විය හැක. සමහර විට, අර්බුදය ඉවත් නොවූවත්, දෙවියන්වහන්සේ අපට උපකාර කිරීමට පහතට නැමී සිටින නිසා, අපට නැඟිට අපගේ ගමන යා හැකිය.