බාර්කර් පවුලේ නත්තල් සුබ පැතුම් වීඩියෝව පරිපූර්ණ විය. ලෝගුවලින් සැරසුණු එඬේරුන් තිදෙනෙක් (පවුලේ පුංචි පුතුන්) තණකොළ පිට්ටනියක ගින්නක් වටා රොක් වූහ. හදිසියේම දේවදූතයෙක් කඳු මුදුනෙන් බැස ආවේය – එනම්, ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරියයි, රෝස පැහැති උස සපත්තු හැර, ඈ දීප්තිමත් පෙනුමකින් සිටියාය. හඬ පටයේ ශබ්දය වැඩි වීමෙන් එහි සිටි එඬේරුන් පුදුමයෙන් අහස දෙස බලා සිටියහ. පිට්ටනියක් හරහා ගිය විටදී ඔවුන්ට සැබෑ ළදරුවෙකුව මුණ ගැසුණි – එනම්, නව පන්නයේ ගවහලක සිටී ඔවුන්ගේ ළදරු සහෝදරයාය. වැඩිමහල් සොහොයුරිය දැන් මරියතුමියගේ චරිතය රඟ පෑවාය.

ඔවුන්ගේ පියා අපට “තිරය පිටුපස සිද්ධි” නැරඹීමට ඉඩ දුන් විට එය විශේෂ දර්ශනයක් විය. මහන්සි වී සිටි දරුවන්, “මට සීතලයි.” “මට දැන් වැසිකිලියට යන්න ඕනේමයි!” තව දරුවෙකු: “අපිට ගෙදර යන්න පුලුවන්ද?” යනුවෙන් මැසිවිලි නැගීය. “ළමයිනේ, අවධානය යොමු කරන්න”, කියා ඔවුන්ගේ මව කිහිප වතාවක්ම පැවසුවාය. යථාර්ථය නත්තල් සුබ පැතුම් වීඩියෝවට වඩා බොහෝ දුරස් විය.

හොඳින් සංස්කරණය කරන ලද අවසාන කතාව හරහා මුල් නත්තල් කතාව බැලීම පහසුය. නමුත් යේසුස්වහන්සේගේ ජීවිතය කිසිදා පහසු ජීවිතයක් නොවුණි. ඊර්ෂ්‍යා කළ හෙරොද් උන්වහන්සේව ළදරු වියේදීම මරා දැමීමට උත්සාහ කළේය (මතෙව් 2: 13). මරියා සහ යෝසප් උන්වහන්සේව වරදවා වටහා ගත්හ (ලූක් 2:41-50). ලෝකය උන්වහන්සේට වෛර කළේය (යොහන් 7:7). කාලයකට, “උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහා ගත්තේ නැත” (7:5). උන්වහන්සේගේ මෙහෙය දරුණු මරණයකට හේතු විය. උන්වහන්සේ ඒ සියල්ල කළේ උන්වහන්සේගේ පියාට ගෞරව කිරීමට සහ අපව ගළවා ගැනීමටය.

බාර්කර් පවුලේ වීඩියෝව අවසන් වූයේ යේසුස්වහන්සේගේ මෙම වදන් සමඟිනි: “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14:6). එය අපට සදාකාලිකව ජීවත් විය හැකි යථාර්ථයකි.