මට මෑතකාලීන සෞඛ්‍ය ගැටලු නොතිබුණද, මට නියමිතව තිබූ වෛද්‍ය පරීක්ෂණය ගැන බිය වූයෙමි. බොහෝ කලකට පෙර අනපේක්ෂිත රෝග විනිශ්චයන් ලැබූ අයුරු පිළිබඳ මතකයන් මා බියට පත් කළේය. දෙවියන්වහන්සේ මා සමඟ සිටින බව මම දැන සිටියෙමි. එසේම මා උන්වහන්සේව විශ්වාස කළ යුතු බව දැනගෙන සිටියත්, මට තවමත් බියක් දැනුණි.

මගේ බිය සහ ඇදහිල්ල නොමැතිකම ගැන මා කලකිරුණෙමි. දෙවියන්වහන්සේ මා සමඟ සැමවිටම සිටිනවා නම්, මට එවැනි කනස්සල්ලක් දැනුණේ ඇයි? ඉන්පසු එක් උදෑසනක උන්වහන්සේ මා ගිඩියොන්ගේ කතාවට යොමු කළ සේක.

“බලවත් මනුෂ්‍යය” (විනිශ්චයකාරයන්ගේ පොත 6:12) ලෙස හැඳින්වූ ගිඩියොන්, තමන්ට මිදියන්වරුන්ට පහර දීමට පැවරීම ගැන බිය විය. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අභිමුඛය සහ ජයග්‍රහණය පොරොන්දු වී තිබුණත්, ගිඩියොන්ට තවමත් බොහෝ දේ ගැන සැක සහිත විය. (16-23; 36-40 පද).

කෙසේ වෙතත්, දෙවියන්වහන්සේ ගිඩියොන්ගේ බිය නිසා ඔහුව හෙළා දුටුවේ නැත. උන්වහන්සේ ගිඩියොන්ව තේරුම් ගත් සේක. ප්‍රහාරය සිදු වූ දින රාත්‍රියේ උන්වහන්සේ ගිඩියොන්ට ජයග්‍රහණය ගැන නැවතත් සහතික විය. ඔහුගේ බිය සමනය කිරීමට ඔහුට මගක් පවා ලබා දුන් සේක (විනිශ්චයකාරයන්ගේ පොත 7:10−11).

මගේ බයද දෙවියන්වහන්සේ තේරුම් ගත් සේක. උන්වහන්සේගේ සහතිකය, උන්වහන්සේව විශ්වාස කිරීමට මට ධෛර්යක් ලබා දුන්නේය. ප්‍රතිඵලය කුමක් වුවත්, උන්වහන්සේ මා සමඟ සිටින බව දැනගත් මම, උන්වහන්සේගේ සාමය අත්වින්දෙමි. අවසානයේදී, මගේ පරීක්ෂණයෙන් යහපත් ප්‍රතිඵලයක් ලැබුනි.

අපගේ බිය තේරුම් ගන්නා සහ ශුද්ධ ලියවිල්ල සහ ආත්මයාණන් හරහා අපව සනසන දෙවි කෙනෙක් අපට සිටියි (ගීතාවලිය 23:4; යොහන් 14:16-17). ගිඩියොන් කළාක් මෙන් අපිත් ස්තුතිපූර්වකව උන්වහන්සේට නමස්කාර කරමු (විනිශ්චයකාරයන්ගේ පොත 7:15).