1524දී මාර්ටින් ලූතර් මෙසේ නිරීක්ෂණය කළේය: “ඔවුන් අතර වෙළෙන්දන්ට පොදු රීතියක් ඇත, එය ඔවුන්ගේ ප්‍රධාන හැසිරීම් ක්‍රමයයි. . . . මගේ ලාභය ඇතිතාක් සහ මගේ තණ්හාව සංසිඳුවා ගන්නා තාක් කල් මම මගේ අසල්වැසියා ගැන කිසි තැකීමක් නොකරමි.” වසර දෙසීයකට වැඩි කාලයකට පසුව, උතුරු ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේහි මවුන්ට් හෝලි හි ජෝන් වුල්මන් නමැති පුද්ගලයාගේ ඇඳුම් මසන (ටේලර්) සාප්පුවල ගනුදෙනුවලට බලපෑමක් ඇති කිරීමට යේසුස්වහන්සේ කෙරෙහි වූ ඔහුගේ කැපවීම සමත් විය. වහලුන් නිදහස් කිරීමට සහය දැක්වීමක් වශයෙන්, බලහත්කාරයෙන් ශ්‍රමය භාවිතා කළ සමාගම්වලින් කපු හෝ ඩයි සැපයුම් මිලදී ගැනීම ඔහු ප්‍රතික්ෂේප කළේය. නිරවුල් හෘදය සාක්ෂියක් ඇතිව, ඔහු තම අසල්වැසියාට ප්‍රේම කළ අතර, ඔහුගේ සියලු ගනුදෙනුවලදී අවංකව හා විශ්වාසවන්තව ජීවත් විය.

අපෝස්තලු පාවුල්ද “දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්” ජීවත් වීමට වෑයම් කළේය (2 කොරින්ති 1:12). කොරින්තියේ සිටි ඇතැමුන් යේසුස්වහන්සේගේ අපෝස්තුළුවරයෙකු ලෙස ඔහුගේ අධිකාරියට හානි කිරීමට උත්සාහ කළ විට, ඔහු ඔවුන් අතරේ තම හැසිරීම ආරක්ෂා කර ගත්තේය. ඔහුගේ වචන සහ ක්‍රියා සමීපතම පරීක්ෂණයකට ඔරොත්තු දිය හැකි බව ඔහු පෙන්නුම් කළේය (13 පදය). එසේම ඵලදායිතාවය සඳහා දෙවියන්වහන්සේගේ බලය සහ කරුණාව මත රඳා පවතින බව ඔහු පෙන්වා දුන් අතර එය තමන්ගේම ශක්තියෙන් නොවූ බවද පෙන්වා දුනි (12 පදය). කෙටියෙන් කිවහොත්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පාවුල්ගේ ඇදහිල්ල ඔහුගේ සියලු ගනුදෙනු තුළ සම්පූර්ණයෙන්ම පැතිර ගියේය.

අපි යේසුස්වහන්සේගේ තානාපතීන් ලෙස ජීවත් වන විට, අපගේ සියලු ගනුදෙනු වලදී – එනම්, පවුල, ව්‍යාපාර සහ තවත් බොහෝ දේ තුළ ශුභාරංචිය නාද වීමට ඉඩ සැළැස්වීමට අපි පරෙස්සම් වෙමු. දෙවියන්වහන්සේගේ බලයෙන් සහ කරුණාවෙන් අපි උන්වහන්සේගේ ප්‍රේමය අන් අයට හෙළි කරන විට, අපි උන්වහන්සේට ගෞරව කරන අතර, අපේ අසල්වැසියන්ටද ප්‍රේම කරන්නෙමු.