තරුණියට නිදා ගැනීමට නොහැකි විය. වසර ගණනාවක් ශාරීරික ආබාධයකින් පෙළුණු ඇය පසුදා දේවස්ථානය මගින් උසස් අධ්‍යාපනය සඳහා අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියේ කේන්ද්‍රස්ථානය ගනු ඇත. නමුත් “මම සුදුසු නැහැ,” කියා චාලට් එලියට් තර්ක කළාය. හැරෙමින් පෙරළෙමින්, ඇය ඇගේ අධ්‍යාත්මික ජීවිතයේ සෑම අංශයක්ම ගැන ප්‍රශ්න කරමින්, ඇගේ සුදුසුකම් ගැන සැක කළාය. ඊළඟ දවසේ තවමත් නොසන්සුන් වූ ඇය අවසානයේ පෑන සහ කඩදාසි අතට ගැනීමට මේසයක් වෙත ගොස් දැන් සම්භාව්‍ය ගීතිකාවක් වන , “Just As I am”, “ජස්ට් ඈස් අයි ඈම්” නොහොත් ”මා සිටින ආකාරයට” යන ගීතයෙහි වචන ලිවීය: “මා සිටින ආකාරයට, ආයාචනයක් නැතුව, / මා වෙනුවෙන් ඔබවහන්සේගේ ලේ වැගිරෙව් සේක, / මට ඔබවහන්සේ වෙතට එන්න කියා කී සේක, / දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෙනි, මම එන්නෙමි, මම එන්නෙමි”.

1835 දී ලියන ලද ඇගේ වදන්, යේසුස්වහන්සේ තම ගෝලයන්ව කැඳවා තමන්වහන්සේට සේවය කරන ලෙස ආරාධනා කළ ආකාරය ප්‍රකාශ කරයි. ඔවුන් සූදානම්ව සිටි නිසා නොවේ. ඔවුන් සූදානම්ව සිටියේ නැත. නමුත් උන්වහන්සේ ඔවුන්ට බලය දුන් නිසාය – එනම් ඔවුන් සිටි ආකාරයටමය. ‘නොසැලකිලිමත්, අවුල් සහගත, තැළුණු කණ්ඩායමක්’ වූ, උන්වහන්සේගේ දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට බදු එකතු කරන්නෙකු, අන්තවාදියෙක්, ඕනෑවට වඩා මහා අපේක්ෂා සහිත සහෝදරයන් දෙදෙනෙකු (මාර්ක් 10:35-37 බලන්න), සහ “උන්වහන්සේව පාවා දුන්” යූදස් ඉස්කාරියොත් (මතෙව් 10. 4) යන අය ඇතුළත් විය. එසේ වූවත්, “රෝගීන් සුව කිරීමටත්, මළවුන් නැඟිටුවන්නටත්, කුෂ්ට රෝගීන් පවිත්‍ර කරන්නටත්, යක්ෂයන් දුරු කරන්නටත්” (8 පදය) “උන්වහන්සේ ඔවුන්ට බලය දුන්නේ කිසිම මුදලක් නොගෙන, ගමන් මලු නොගෙන, අමතර කමිසයක් හෝ සෙරෙප්පු ජෝඩුවක් හෝ ඇවිදීමේ සැරයටියක්වත් නොගෙන යාමටය (9-10 පද).

“මම නුඹලා යවමි,” උන්වහන්සේ කී සේක (16 පදය), උන්වහන්සේ පමණක්ම සෑහුණි. උන්වහන්සේට එසේය කියා පවසන අප සෑම කෙනෙකුටම, උන්වහන්සේ තවමත් එසේම සිටින සේක.