මා නොදැනුවත්වම කෙටි නින්දක් ලබමින් සිටි අවස්ථාවේදී, එය මාව නිමේෂයකින් අවදි කළේය. පහළම මාලයේ සිට, මගේ පුතා ඔහුගේ විදුලි ගිටාරය අධික ශබ්දයකින් වාදනය කළේය. බිත්ති දෝංකාර දුන්නේය. සමාදානයක් නොවීය. නිශ්චලතාවයක් නොවීය. සුව නින්දක් නොවීය. ටික වේලාවකට පසු, සන්සුන් සංගීතයක් මගේ කන්වලට ඇසුණි : මගේ දුව “එමේසින් ග්‍රේස්” (පුදුමාකාර කරුණාව) යන ලස්සන ගීතිකාව තමන්ගේ පියානොවේ වාදනය කිරීමට පටන් ගත්තාය.

සාමාන්‍යයෙන් මම මගේ පුතාගේ ගිටාර් වාදනයට කැමත්තෙමි. නමුත් ඒ මොහොතේ, එය වේදනාකාරී කම්පනයක් ඇති කර මා නොසන්සුන් කළේය. ඒ මොහොතේදී, මාගේ දියණිය වාදනය කළ ජෝන් නිව්ටන් විසින් පද රචනය කළ ගීතිකාව තුළින් මට මතක් කර දුන්නේ: අවුල් වියවුල් මධ්‍යයේ පුදුම කරුණාව වැඩෙන බවයි. ජීවිතයේ කුණාටු කෙතරම් ඝෝෂාකාරී, අනවශ්‍ය හෝ ව්‍යාකූල වූවත් දෙවියන්වහන්සේගේ කරුණාවේ සටහන් පැහැදිලිව සහ සත්‍යව නාද වන අතර, අප කෙරෙහි උන්වහන්සේගේ සුපරීක්ෂාකාරී සැලකිල්ල අපට මතක් කර දෙයි.

එම යථාර්ථය අපි ශුද්ධ ලියවිල්ල තුළ දකිමු. ගීතාවලිය 107:23-32 හි, නැවියන් තමන්ව පහසුවෙන් ගිල්විය හැකි සුළි කුණාටුවකට එරෙහිව බලවත් ලෙස අරගල කරමින් සිටියි. “ඒ විපතින් ඔවුන්ගේ ප්‍රාණය දියවෙයි” (26 පදය). එසේ වුවද, ඔවුන්ගේ බලාපොරොත්තු සුන් නොවූ නමුත් “එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක” (28 පදය). අවසාන වශයෙන්, අපි කියවන්නේ “එවිට නිශ්චලයක් වූ බැවින් ඔව්හු සන්තෝෂවෙති; උන්වහන්සේද රිසිවූ වරායට ඔවුන් පමුණුවනසේක” (30 පදය) යනුවෙනි.

අවුල් සහගත අවස්ථාවන්හිදී, එනම් ඒවා ජීවිතයට තර්ජනයක් වන හෝ හුදෙක් නින්දට තර්ජනයක් වන හෝ අවස්ථාවලදී, ඝෝෂාව සහ භීතිය අපගේ ආත්මයන් වලට කුණාටුවක් විය හැක. නමුත් අපි දෙවියන්වහන්සේව විශ්වාස කර උන්වහන්සේට යාච්ඤා කරන විට, උන්වහන්සේගේ ස්ථිර ප්‍රේමයේ තෝතැන්න වන උන්වහන්සේගේ අභිමුඛයේ සහ ප්‍රතිපාදනවල කරුණාව අපි අත්දකිමු.